ඇතින්නියන් මැරිලා තියෙන්නේ වස ශරීරගත වෙලා


  • අලි මැරිලා තියෙන්නේ අලිමංකඩේ.   
  • මේ ඉඩම් වනජීවි දෙපාර්තමේන්තුවට අයිති ඒවා.   
  • මේ කලා වැවේ සිට හුරුළු හා මින්නේරිය රක්ෂිත දක්වා වැටුණු අලිමංකඩක්.   

 

 

හබරණ, හිරිවඩුන්න, කුම්බිකුලම් ප්‍රදේශයේදී මියගිය වල් අලි 7 දෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදු කෙරෙයි. මේ සම්බන්ධයෙන් අප අඩවි වන සත්ව ආරක්ෂක චන්ද්‍රා බණ්ඩාරනායක මහතාගෙන් විමසීමක් කළෙමු.   


 මේ සෑම දේකටම මුල මනුෂ්‍ය ක්‍රියාකාරකම් තමයි. මේ කිරිවඩුන්න කියන්නේ අලිමංඩක්ය. ඒ අලිමංකඩ අවහිර කරලා මිනිස්සු වගා කරනවා. ඒක අතීතයේ ඉඳලා තිබෙන අලිමංකඩක්. ඒ අලිමංකඩවල් හරියට ස්ථාපනික කරලා නැහැ. සත්තුන්ට ගමන් කරන්න ඕනෑ ප්‍රධාන මාර්ගය අවහිර කරලා තමයි මිනිස්සු ඔය වගා කටයුතු කරන්නේ. කුම්බිකුලම රක්ෂිතයේ ඉඳලා මින්නේරිය ජාතික වනෝද්‍යානයට ගමන් කරන ප්‍රධාන අලිමංකඩක් තමයි ඔය මේ කියන ප්‍රදේශයේ තිබෙන්නේ. ඒක වහලා අලින්ට යන්න එන්න මාර්ගය ඇහුරු වුණහම උන්ගේ බලපෑම් ගම්මුන්ට එනවා. ඒ මාර්ගය අවහිර කරලා අනවසර වගාකරුවන් ගොවිතැන් කරනවා. මේ වගා කරලා තිබෙන්නේ රක්ෂිත වනාන්තරවල. අපිත් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ඉඩම් නැවත අරගෙන සතුන්ට නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හඳලා ගේන්න කියලා. ඒ දේවල් නොකරන හින්ද‌ා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට අලින් ගම්බිම් වලට ඇතුළු වෙනවා. ඒ එක්කම මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වැඩිවෙනවා.   


 දැන් ඔය අලි මැරිලා තිබෙන්නේ අලිමංකඩනේ. දැන් අපි අලි මැරිච්ච තැන්වලට ගියහම අපි දැක්කේ මේ ඉඩම් සියල්ලම වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඒවා. ඒ ඉඩම්වල තමයි ජනතාව අනවසරයෙන් වගා කරන්නේ. ඒ වගේ දේවල් කරනකොට සත්තුන්ට යන එන මං නැහැ. ඔවුන් ගම් වදිනවා. මොකද ඒ සත්තු දන්නේ නැහැ මේ ඉඩම වනජීවි එකේ ද? වන සත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද කියලා. නමුත් දෙපාර්තමේන්තු භේදයකින් නොමැතිව සත්තුන්ට යන එන මං සැලැස්සුවහම මේ ප්‍රශ්න ගොඩාක් අඩුකර ගන්න පුළුවන්.   
 මේ අලිමංකඩ වැටිලා තිබෙන්නේ කලාවැවේ සිට හුරුළු රක්ෂිතය සහ මින්නේරිය දක්වා. කවුඩුල්ල වැනි රක්ෂිත වලටත් මේ මාර්ගය තමයි අලින් භාවිත කරන්නේ. ප්‍රධාන මංකඩක්. ඒ මංකඩ දැන් ඇහිරිලා තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා. 

 
 මේ සම්බන්ධව දැන් පරීක්ෂණ කරනවා. මොකද මේ මැරිලා ඉන්න සියල්ලම ඇතින්නියන්. මම දකින්නේ මේක ජාතික අපරාධයක් හැටියටයි. අපි මේ ගැන දැන් දිගින් දිගටම පරීක්ෂණ කරනවා. වෛද්‍ය චන්දන ජයසිංහ මහතා තමයි මේ පිළිබඳ පරික්ෂණ පවත්වන්නේ. නමුත් තවම ඒ පිළිබඳ නිශ්චිත පිළිතුරක් කරන්න බැහැ. මොකද මේ සියලු ඇතින්නියන් මැරිලා තිබෙන්නේ වසක් ශරීර ගතවෙලා. නමුත් අපි දන්නේ නැහැ ඒක කොහොම වුණාද කියලා. මේ සම්බන්ධව අපිට ගම්වාසීන්ගෙන් පිළිතුරක් නැහැ. කොහොම උනත් මේ අපරාධය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පරීක්ෂණ කරනවා.   


 මේ වෙන විට ගතවූ කාලසීමාව දිවයිනේ අලින් සහ ඇතින්නියන් දෙසිය තිස්පස් දෙනෙකු (235) මියගොස් ඇත. වනජීවි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එම දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව මෙරට අලි ගහනය 3800 ක් පමණ වෙයි.   


 මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර තිබේ. මේ කමිටුවේ වාර්තාව ලබන සඳුද‌ා වෙන විට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය. මෙවැනි දෙයක් මීට පෙර සිද්ධවෙලා නැති අතර වස විස දී අලින් මරා දැමූ සිද්ධීන් වාර්තා වී තිබුණත් මෙලෙස අලින් අභිරහස් ලෙස මියගිය ප්‍රථම අවස්ථාව මෙය බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.   

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර