ඇඟලුම් ක්ෂේත්‍රයට යළිත් කොරෝනා අවද‌ානමක්


(පද්මිණී මාතරගේ)  

රට පුරා ලක්ෂ තුනකට ආසන්න ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට නැවතත් කොරෝනා පැතිරීමේ අවද‌ානමක් මතුව තිබෙන බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අනතුරු අඟවයි.  

කොවිඩ් මර්දනය කිරීම මූලික කරගනිමින් කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පත්කර ඇති ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධක බළකාය විසින් දී ඇති උපදෙස් අනුව කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය කමිටු පත්කර, සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත්, කොවිඩ් 19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති උපදෙස් අනුව කටයුතු කරනවා ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම කළ යුතු අතර අද‌ාළ සෞඛ්‍ය කමිටු මේ දක්වා ස්ථාපිත නොකිරීම නිසා මෙම අවද‌ානම මතුව තිබෙන බව එම වෘත්තීය සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසයි.  


මෙම ත්‍රෛපාර්ශ්වීය සංගමය 2020.11.16 දින කම්කරු අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේ දී සෑම ඇඟලුම් කර්මාන්ත ශාලාවකම සේව්‍ය සේවක ද්වීපාර්ශ්වික නියෝජිතයන්ගෙන් සමන්විත අද‌ාළ මෙම සෞඛ්‍ය කමිටු 2020.12.15 දිනට පෙර පිහිටුවන ලෙසට උපදෙස් දී ඇත. එහෙත් අතිබහුතරයක් ඇඟලුම් කම්හල්වල මේ දක්වා මෙම සෞඛ්‍ය කමිටු පිහිටුවා නැතැයි ද ඔහු චෝදනා කළේය.