ආර්ථික කළමනාකරණ කමිටුවේ වගකීම් ජනාධිපති යටතට


(අජන්ත කුමාර අගලකඩ)  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කර එහි කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාව යටතට ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.  

එම කැබිනට් පත්‍රිකාව ඉකුත් අඟහරුවාදා (06) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.   


අදාළ කැබිනට් සංදේශය මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිත බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය වසර කීපය තුළ ක්‍රියාත්මක වුවද එමගින් ඵලදායි යමක් සිදුව නැති බැවින් එය අහෝසි කළ යුතු බව ජනාධිපතිවරයා මීට පෙර පැවැති කැබිනට් රැස්වීමකදී කියා තිබිණි.