ආර්.පී.ජී. සහ ගිනි අවි 100 ක් පාතාලය ළඟ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නමැත්තාගේ හා ඔහුගේ ප්‍රධානතම ගෝලයා බව කියන ගගන නමැත්තාගේ කල්ලියේ සාමාජිකයින් ළඟ ආර්.පී.ජී. අවි සහ ස්වයංක්‍රීය ගිනිඅවි 100ක පමණ තොගයක් තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙමින් පැවැති වකවානුවේ උතුරේ රහසිගත ලෙස වළදමා තිබූ ගිනිඅවි හිටපු සමහර කොටි සාමාජිකයන් විසින් පසුව ගොඩගෙන වරින් වර දකුණේ පාතාල කල්ලිවලට විකුණා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.  


මෙම තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා එම ගිනිඅවි පරිහරණය කරන බව පැවසෙන පාතාල සාමාජිකයන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි ද ඔහු කීය.