ආපදා සහන සැලසීම කඩිනමින් දිස්ත්‍රික් 5ක නාය යා​ෙම් අවදානම


(ඩයනා උදයංගනී)  

නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 15ක පමණ මුදලක් මේ වෙන විටත් ලබාදී ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.  

එහිදී මියගිය අයෙකු වෙනුවෙන් ස්වභාවික රක්ෂණාවරණය වෙතින් රුපියල් ලක්ෂයක් ලබාදෙන අතර, දේපල හානි ගණනය කර කඩිනමින් වන්දි ලබාදෙන බව ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවැසීය.  


දින කිහිපයක් තිස්සේ ඇද හැළුණු මහ වැස්සෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18ක 1,05,000කට අධික පිරිසක් පීඩාවට පත්ව 40,000ක පමණ පිරිසක් අවතැන් වූහ.  


අකුණු අනතුරු, දියේ ගිලීම්, පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන් ඉකුත් 24 වැනි දා වන විට මරණ 13ක් වාර්තා වී තිබිණි. නිවාස 2541කට පූර්ණ හා අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.  


මෙම ගංවතුර තත්ත්වයේ වැඩිම බලපෑම එල්ල වූයේ රත්නපුර දිස්ත්‍රික්කයට වන අතර පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික්කවලට ද වැඩි බලපෑමක් එල්ල වී තිබිණි.  


කැලණි, කළු, මහවැලි, ගිං, නිල්වලා ගංගා සහ අත්තනගලු, මා ඔයවල් මහ වැසි හේතුවෙන් පිටාර ගැලූ අතර එයින් ඉහත දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසකට ගං වතුර ඇති විය. 

 
මහනුවර, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, කොළඹ, කුරුණෑගල, මාතලේ, මොණරාගල, මාතර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලට ද මෙහි වැඩි බලපෑමක් එල්ල විය.  


මේ අතර දැනට පවතින වැසි තත්ත්වය විටින් විට අඩු වැඩි වෙමින් ජූනි මාසය දක්වාම පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබූ අතර, අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවද නිවේදනය කර තිබිණ.