ආපදා අමාත්‍යංශයේ මා ඉඳලා වැඩක් නෑ -ඇමැති දුමින්ද කැබිනට් රැස්වීමේදී කියයි


(අජන්ත කුමාර අගලකඩ)  
ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් කළ යුතු වැඩ වෙනත් අමාත්‍යංශයකින් කරන්නේ නම් ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් කුමකටදැයි ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.   

ආපදාවට ලක්වූවන්ට ආධාර ලබාදීම වෙනත් අමාත්‍යංශයකින් කරන්නේ නම් තමා තව දුරටත් මේ ඇමැතිධුරයේ රැඳී සිටීමේ තේරුමක් නැතයිද ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.  


ආපදා කළමනාකරණ ඇමැති ලෙස තමා සිටින්නේ ආපදාවකදී බැණුම් ඇසීමටත් ගංවතුර ආධාර බෙදීමටත් පමණක්දැයිද ඇමැති දිසානායක මහතා විමසා ඇත.  


ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සතු මිලියන 5000ක මුදලක් ආපදාවට ලක්වූවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමට අනුමැතිය ඉල්ලා වජිර අබේවර්ධන ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට විරෝධය පළ කරමිනි.