ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කෙටුම්පත් කර අවසන් අත්සන් ගැනීම අදියර තුනකින්


(අජන්ත කුමාර අගලකඩ)  

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන ඒමට සැලසුම්කර ඇති විශ්වාසභංග යෝජනාව මේ වනවිට කෙටුම්පත් කර ඇතැයි වාර්තාවේ.  

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු මෙන්ම නීතිඥයකු ද වන මන්ත්‍රීවරයකුගේ මූලිකත්වයෙන් එය කෙටුම්පත් කර ඇති අතර ඊට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ලබන සතියේදී ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම ලැයිස්තු 3ක් යටතේ සිදුකරන බව කී එම මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ හා අගමැතිවරයාට එරෙහිව සිටින එජාප මන්ත්‍රීවරුන්ගේ වශයෙන් අත්සන් ලේඛන තුනක් ලබාගන්නා බව කීවේය.  


විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දෙන්නේ ද සියලුම අත්සන් ලබා ගැනීමෙන් පසුව බව ඔහු සඳහන් කළේය.   


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් පොදුවේ ආණ්ඩුවටත් විරුද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව කී එම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව පැවැසීය.