ආණ්ඩුවට මුස්ලිම් කොංග්‍රසයෙන් කොන්දේසියක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ආණ්ඩුව ස්ථිරව තවත් වසරක කාලයක් ගෙන යාමටත් ඉදිරි මැතිවරණවලට සාර්ථකව මුහුණ දීමට නම් ලබන අය වැය බෙහෙවින් බලපාන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පෙන්වා දෙයි.  

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගන්නේ නම් එ් සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළකින් එය ක්‍රියාත්මක කළ යුතු බවත් අය වැය තුළින් ජනතාවට දැනෙන සහනයක් ලබා දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ජනතාවගේ දැවෙන ප්‍රශ්න හඳුනා ගෙන ඔවුනට ලබන අයවැයෙන් ලබා දෙන සහන අනුව ජනතා කැමැත්ත ආණ්ඩුවට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.  ඉදිරි වසර ආණ්ඩුවට ඉතා තීරණාත්මක වසරක් බවත් ලබන වසරේ මැතිවරණ කිහිපයකට මුහුණ දීමට සිදුවන නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා කැමැත්ත ලබා ගැනීමට දීප ව්‍යාප්තව පක්ෂ සංවිධාන කටයුතු කඩිනමින් කළ යුතු බව ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා පෙන්වා දෙයි.