ආණ්ඩුවට එරෙහිව ශ්‍රීලනිපය පොහොට්ටුව එකම වේදිකාවේ


 

(අජන්ත කුමාර අගලකඩ)  

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ රැස්වීම් සහ උද්ඝෝෂණ මාලාවක් රටපුරා පැවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.   එහි පළමු රැස්වීම ලබන සිකුරාදා (08) මහනුවර දී පැවැත්වීමට පක්ෂ දෙක ම එක්ව තීරණය කර තිබේ.  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සති අන්තයේ කොළඹ ජනාධිපති නිල නිවසේ පැවැති පුළුල් සන්ධානය ගොඩනැගීමේ සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන තිබේ. ඒකාබද්ධ විපක්ෂය ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදාට පෙර ආණ්ඩුවට එරෙහිව පැවැත්වූ රැස්වීම් ආකාරයෙන් ම මෙම රැස්වීම් මාලාව ද පැවැත්වෙන බව සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයෙක් සඳහන් කළේය.  


මේ අතර පළාත් සභා මැතිවරණය කල් දැමීමට හා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව පක්ෂ දෙක එක්ව උද්ඝෝෂණ මාලාවක් ද පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ සඳහා දෙපාර්ශ්වයේ ම නියෝජිතයින්ගෙන් සැදුම්ලත් උද්ඝෝෂණ කමිටුවක් පත් කර ඇත.   


එස්.බී. දිසානායක, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරු උද්ඝෝෂණ කමිටුව සඳහා පත් කරනු ලැබ සිටිති.  


පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව දැනට කරගෙන යන සාකච්ඡාවල දී පැන නගින ගැටලු විසඳා ගැනීම සඳහා ද පාර්ශ්ව දෙකේ නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් ද ඉකුත්දා පැවැති සාකච්ඡාවේ දී පත් කරනු ලැබීය.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් එම කමිටුවට එදින ම පත්කර ඇති අතර පොදුජන පෙරමුණ වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් ඉකුත් බ්‍රහස්පතින්දා පත්කර ඇත.