ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ අලුත් තනතුරු පහක්


නියෝජ්‍ය ඇමැති ධුරයට හිමි වරප්‍රසාද හා වැටුපත් හිමිවෙයි   

(අජන්ත කුමාර අගලකඩ) 

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකවරුන් දෙදෙනකු සහ සහකාර සංවිධායකවරුන් තිදෙනකු පත්කිරීමට රජය තීරණය කර ඇත. 


ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් දෙදෙනකු සහ සහකාර සංවිධායකවරුන් තිදෙනකු පත් කිරීමට 2016 වසරේ දෙසැම්බර් මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන තිබුණේ එවකට පිහිටවූ ජාතික ආණ්ඩුව සැලකිල්ලට ගනිමිනි. 

එහෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට විශාල කාර්යභාරයක් පැවරෙන බැවින් ඔහුට සහායවීමක් ලෙස මෙම නව තනතුරු ඇති කිරීමට ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමේදී ද තීරණයක් ගෙන තිබේ. 


ඒ අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුර දෙකට සහ සහකාර සංවිධායක ධුර තුනට සුදුසු පාර්ලිමේන්තකු මන්ත්‍රීවරුන් පත් කිරීමේ වගකීම අගමැතිවරයා වෙත පැවරෙනු ඇත. 


ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකවරයකුට නියෝජ්‍ය ඇමැතිවරයකුට සමාන කාර්ය මණ්ඩලයක් සහ වැටුප් හා දීමනා ඇතුළු පහසුකම් ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 


මේ අතර සහකාර සංවිධායකවරයකු සඳහා නියෝජ්‍ය ඇමැතිවරයකු​ගේ කාර්ය මණ්ඩලයට ඇතුළත් පෞද්ගලික ලේකම්වරයකු පෞද්ගලික සහකාරවරයකු කළමනාකරණ සහකාරවරුන් සිවු දෙනෙකු හා රුපියල් 50,000ක මාසික ප්‍රවාහන දීමනාවක් ලබාදීමටද තීරණය කර තිබේ.