අාදායම මහා භාණ්ඩාගාරයට පුදා සිවිල් ගුවන් සේවාව කුලී නිවසක


(දයාසීලි ලියනගේ)  
සේවකයන් 147 දෙනෙක් සිටින සිවිල් ගුවන් සේවා අධිකාරි කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තාවේ.  


මෙහි මාසික කුලිය රුපියල් ලක්ෂ 60කි. මෙම අධිකාරිය තම ආදායමෙන් කෝටි 70 බැගින් අවස්ථා කීපයකදීම මහා භාණ්ඩාගාරයට මුදල් ලබාදී ඇත. එසේ තිබියදී අධිකාරිය සඳහාත් ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේ හැකියාව තිබියදීත් මෙම මුදල කුලී වශයෙන් ගෙවනු ලබයි.  


මේ පිළිබඳව කරුණු විමසා ඇති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක නයිකන්ද ප්‍රදේශයේ ස්ථිර ගොනැගිල්ලක් කඩිනමින් පිහිටුවීමට පියවර ගෙන ඇත. මෙම ගොඩනැගිල්ල පිහිටුවීම සඳහා වසර 1 1/2කට පමණ පෙර මුල්ගල් තබා ඇතත් මෙතෙක් තට්ටු 4ක් පමණක් ඉදිකරමින් තිබෙන බව කියති.  


අලුතෙන් ඉදිකරනු ලබන ගොඩනැගිල්ලට කෝටි 8 ක මුදලක් වැය කර මැහෝගනි ලීයෙන් ඉඳිකරන ලී බඩු මිලදී ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලධාරින් යෝජනා කර ඇතත් ඇමැතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර අලුතෙන් ලී බඩු මිලදී නොගන්නා ලෙසට නියම කර ඇත.