අහම්බෙන් ලැබුණු ‘වෙලින්’ නැව මුහුදේ ගිල්ලුවේ මෙහෙමයි


නාවික හමුදාව යටතේ තිබී ගිල්වා  දැමූ දෙවැනි නෞකාව මෙයයි.

මෙරට ජනාධිපතිවරුන් යුද සමයේ භාවිත කළ, මිල අධික, වෙඩි නොවදින, සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් සමඟම නාවික හමුදා භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් වූ ‘වෙලින්’ නමැති නෞකාව ද ඉකුත් (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ නාවික සැතපුම් පහක දුරින් වූ අඩි 60 පමණ ගැඹුරු මුහුදේ ගිල්වා දමනු ලැබිණ.


ගිල්වා දැමූ වෙලින් නෞකාව තුළට මෙම සියලු මෝටර් රථ පටවා ඒවාද සමග නැව ගිල්ලවීම සිදු කළ බව නාවික හමුදාව කියයි.


මෙම වාහනවල හා නෞකාවේ සවිකර තිබූ සන්නිවේදන උපකරණ ඇතුළු වටිනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්ලවීම සිදු කෙරිණ.


මෙම වාහන 8 සමග නාවික හමුදාව විසින් ගිල්ලවන ලද ‘වෙලින්’ නෞකාවට සුවිශේෂී ඉතිහාසයක් ඇති අතර, එයට හේතුව වී ඇත්තේ යුද සමයේ අහඹු ලෙස මෙම නෞකාව නාවික හමුදාව වෙත පත්වීමයි.
අහඹු ලෙස වුවද නාවික හමුදාව වෙත ලැබුණු ‘වෙලින්’ නෞකාව වසර 5 ට ආසන්න කාලයක් භාණ්ඩ ප‍්‍රවාහන ආධාරක නෞකාවක් වශයෙන් ලබාදුන් සේවය සුළු පටු නොවීය.


‘වෙලින්’ නෞකාව 2008.1.21 වැනි දින පොතුවිල්වලට ආසන්න ගැඹුරු මුහුදේ මෙරට මුහුදු සීමාවේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් නෞකාවකි.


එවකට එම නෞකාවේ ඉන්දුනීසියානු ජාතිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සමඟ මුහුදේ පාවෙමින් තිබී ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලයට නිසි ලෙස වැටුප් ලබා නොදීමේ සිද්ධියක් මුල්කරගෙන ඔවුන් මෙම නෞකාව අතහැර දමා මුහුදට පැනීමට සුදානමින් තිබියදී නාවික හමුදාව හමුවී තිබුණි.


ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සැක කටයුතු නෞකාවක් පාවෙමින් තිබෙන බවට එවකට සයුර නැවට මෙරට ධීවරයින් විසින් දැනුම් දී ඇත. එම තොරතුරු අනුව සයුර නෞකාව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත එම ස්ථානයට ගොස් විමසීම් කිරීමේදී එම කාර්ය මණ්ඩල සමාජිකයන් නාවික හමුදාව වෙත ප‍්‍රතිචාර දක්වා තිබුණේ ඔවුන්ට මෙම නෞකාව අතහැර යාමට අවශ්‍ය බවයි.


ඒ අනුව ඔවුන් ආරක්ෂක කබා පැලඳ මුහුදට පැන ඇති අතර පසුව නාවික හමුදාව විසින් එම පිරිස බේරාගෙන තිබුණි.


ඉන් අනතුරුව ඒ 521 නමැති නෞකාව මගින් මෙම නෞකාව පොතුවිල් සිට කොළඹ වරායට ඇදගෙන විත් පසුව නිත්‍යානුකූල ලෙස නාවික හමුදාව වෙත පවරාගෙන තිබුණි.


එම නෞකාව 2008 වසරේ සිට 2014 වසර දක්වා නාවික හමුදාවේ භාණ්ඩ ප‍්‍රවාහන සඳහා ආධාරක නෞකාවක් වශයෙන් නාවික හමුදාව භාරයට, කර ඇත.


පසු කාලයේ නෞකාවේ යම් යම් දෝෂ හටගෙන ඇති අතර ඒවා අලුත්වැඩියා කිරීමට නාවික හමුදාවට විශාල මුදලක් දැරීමට සිදුව ඇත.


දිගින් දිගටම එම මුදල දැරීමට නොහැකි හෙයින් ඉතා පැරැණි වූ මෙම නෞකාව දිනෙන් දින අක්‍රීය තත්ත්වයට පත්වීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ අනුදැනුම මත වෙන්දේසි කිරීමට මිල ගණන් කැඳවා තිබුණි.
අවස්ථා කිහිපයකම ඒ සඳහා මිළ ගණන් කැඳවුවද සෑම අවස්ථාවකදීම එයට හිමිව ඇත්තේ අඩු ලන්සුවක් බැවින් එම නිසා අවසානයේ එය මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබුණි.


ඒ සඳහා ඉකුත් 2017 දෙසැම්බර් මස ආරක්ෂක අමාත්‍යාශයෙන් නාවික හමුදාව වෙත අනුමැතිය හිමිව තිබූ අතර ඉකුත් දෙසැම්බර් මස සිට මාර්තු 26 දින දක්වා මාස 3 ට ආසන්න කාලයක් පුරා නෞකාව මුහුදේ ගිල්ලවීමේ මෙහෙයුම් කටයුතු ක‍්‍රමයෙන් ආරම්භ කර තිබුණි.


මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර අධිකාරිය හා වරාය අධිකාරිය දැනුම්වත් කළ බව නාවික හමුදාව කියයි.


මෙම නැව ගිල්ලවීමට පෙර සමුද්‍රීය පරිසරයට හානියක් නොවන අයුරින් එහි තිබූ තෙල්, ඩීසල්, රසදිය, ඇතුළු ද්‍රව්‍ය සියල්ල ඉවත් කිරීමට නාවික හමුදාව පියවර ගත්තේය.


එහි එංජින් දෙක ඇතුළු නාවික හමුදාව ප‍්‍රයෝජනය ගත හැකි සෑම කොටසක්ම ගලවා ඉවත් කිරීමට ද පියවර ගැනිණ.


මෙම ප‍්‍රදේශයේ ගමන් ගන්නා නෞකාවල ඉදිරි නාවික ගමනාගමනයට බාධා නොවන අයුරින් නෞකාවේ ඉහළ කොටස් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කෙරිණ.


පසුව එහි විශාල දොරවල් ආකාරයෙන් සිදුරු රැසක්ම සිදුකර තිබූ අතර. එලෙස සිදුරු කර ඇත්තේ ඉදිරියේ දී මෙම නැව නිරීක්ෂණ කිරීම සදහා පැමිණෙන කිමිදුම්කරුවන් හට එම කවුළු හරහා නෞකාවට ඇතුළුවී නෞකාව හරහා එහා මෙහා ගොස් නිරීක්ෂණ කිරීමට හැකිවන පරිදි බවද නාවික හමුදාව කියයි.


මාස තුනක මෙහෙයුම් අවසානයේ නැව ගිල්ලවීමේ කටයුතු ඉකුත් 26 දින පෙරවරු 6.30 ට ආරම්භ කෙරිණි. ඒ සඳහා සමස්ත කාර්යයට පැය 6 ට අධික කාලයක් ගතව ඇත.


වෙඩි නොවදින වාහන 8 ක් පැටවීමෙන් පසු පෙරවරු 6.30 පමණ රංගල නාවික හමුදා කඳවුරේ සිට ටග් යාත‍්‍රාවක් මගින් නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදුකරන ලදී.


මේ මෙහෙයුම සඳහා නාවික හමුදා සාමාජිකයන් 60 දෙනකු පමණ එක්ව සිටීම විශේෂත්වයකි.


මේ සඳහා භටහිර නාවික විධානය භාර ආඥාපති සහ නාවික කිමිදුම් භාර ආඥාපතිගේත් ඉංජිනේරු විධාන නිලධාරීන්, සහ එම කාර්ය මණ්ඩලයේත්, කිමිදුම් විධානයේ කිමිදුම් නිලධාරීන්ගේ සහය ද ලැබී තිබුණි.
පෙරවරු 6.30 රංගලින් පිටත් වූ ‘වෙලින්’ නෞකාව පෙරවරු 10.30 පමණ එම මීගමුවට ආසන්න මුහුද සැතපුම් 5 ට පමණ දුර පිහිටි මුහුදේ නැව ස්ථාන ගතකිරීමට කලින් සුදානම් කර තිබූ ස්ථානයව වෙත පැමිණි අතර පෙරවරු 11.30 වාහන සමඟ නැව ගිල්ලවීමේ කටයුතු ආරම්භ කෙරිණි.


මෙම නැව ගිල්ලවීමට සුදානම් කර තිබූ ස්ථානය කලින් වෙන්කරවා ගෙන එම ස්ථානයේ නැව ස්ථාන ගතකර මුලින්ම නාවික හමුදා සාමාජිකයන් මුළු නෞකාව වැසෙන පරිදි විශාල නළ ආධාරයෙන් මුහුදු වතුර පොම්ප කරන ලදී.


වතුර පුරවන අවස්ථාවේ කිමිදුම්කරුවන්ට නෞකාව තුළට ඇතුළුවීම සදහා සිදුරු කර තිබු සිදුරුවල ආවාරණ ඉවත් කර ඇති අතර ඒ සමග නෞකාව තුළට ජලය වේගයෙන් පිරීම ආරම්භ වී තිබුණි.


නෞකාව තුළට ජලය පිරීමෙන් පසු මෙතෙක් වෙලා නෞකාව රඳවා තිබූ ආධාරක ඉවත් කිරීමෙන් පසු එය ක‍්‍රමයෙන් මුහුදු පතුල වෙත ගිලෙන්න පටන් ගෙන ඇත.


සියල්ල අවසානයේ තෝරාගත් එම ස්ථානයේ මුහුදු පතුල තුළට නැව ගිලී ගොස් තිබුණි මේ ආකාරයෙන් නෞකාවක් ගිල්ලවීමෙන් පසු එම ස්ථානය මත්ස්‍ය ග‍්‍රහණයට කොරල්පර සහිත කෘත්‍රීම ප‍්‍රදේශයක් නිර්මාණය වන බව නාවික හමුදාව කියයි.


මානුෂික ක්‍රියාකාරකම් හේතුවෙන් හා ස්වාභාවික හේතුන් මත අපේ රටේ කොරල්පර විනාශ වෙමින් තිබෙන අතර ධීවරයින්ට මත්ස්‍ය සම්පතේ ද අඩුවීමක් දක්නට ලැබෙන බව නාවික හමුදාව කියයි.


මෙම තීරණයට නාවික හමුදාව එළඹුණේ පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් සහ මත්ස්‍ය සම්පත වර්ධනය කිරීමේ අරමුණින් බව නාවික හමුදාව පවසයි.


මුලින්ම කුඩා මසුන් ඒ වෙත ළංවෙන අතර ඔවුන් පසුපස ලොකු මසුන් පැමිණීමෙන් ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට එම මසුන් අල්ලා ගැනීමට හැකියාව ලැබෙන බව නාවික හමුදාව කියයි.


එසේම ඉදිරියේ මෙම ස්ථානය කිමිදුම්කරුවන්ටද කිමිදීමට හොඳ අවස්ථාවක් හිමි වන අතර ඔවුන්ට මෙම ස්ථානය ආකර්ෂණ කිරීමට හැකියාව ලැබෙන අතර මෙරට සංචාරක ව්‍යාපාරයටත් හොඳ අත්වැලක් බව නාවික හමුදාව කියයි.


පැරණි නෞකාව නඩත්තු කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් මෙම නැව ගිල්ලවීමෙන් පසු නිර්මාණය වන පරිසරය දැකගැනීමට පැමිණෙන සංචාරකයින්ගේගෙන් උපයාගත හැකි බවත් පවසන නාවික හමුදාව එසේම මත්ස්‍ය සම්පත් වර්ධනය වීමෙන් විශාල ආදායමක් ලබා ගත හැකි බවද නාවික හමුදාව සඳහන් කරයි.


මෙම නෞකාව ගිල්ලවීම නාවික හමුදාවට සාමාන්‍ය ක‍්‍රමවේදයක් වුවද මෙරට ජනතාවට එය නව සිදුවීමක් බවට පත්ව තිබුණි.


බොහෝ දෙනෙක් සමාජ ජාලා හරහා එම ක්‍රියාව පිළිබඳව නාවික හමුදාව වෙත හා රජය වෙත නොයෙක් චෝදනා එල්ල කළහ.


නාවික හමුදාව පවසන පරිදි ලෝකයේ නැව් ප්‍රතිචක්‍රීයකරණයට ප‍්‍රධාන ක‍්‍රම පහක් පවතියි. නැවක් කොටස් වශයෙන් කපා එය ප්ලේට් බවට පත්කර පසුව ඒවා උණුකර නැවත නැවක් නිර්මාණය කිරීම, තිබෙන නැව අලුතින් උපකරණ සවිකර නවීකරණ කිරීම, නෞකාව මුහුදේ නොතියා ගොඩබිම වෙත රැගෙන ගොස් කොට ආධාරයෙන් රඳවා පසුව එය කඩා දැමීම ඉන් ක‍්‍රම 3 ක් බව පවසන නාවික හමුදාව මෙම ක‍්‍රම වෙනුවෙන් අති විශාල මුදලක් වැය වන බව පවසති.


සිව් වන කාර්ය වන නෞකාවක් ​ෙකෟතුකාගාරයක් වශයෙන් තැබීමට හැකියාව තිබුණ ද මෙම නැවේ හැඩය අනුව එසේ කිරීමට හැකියාව නොමැති බවද නාවික හමුදාව කියයි.


ඒ අනුව පස්වන කාර්ය වන්නේ නැව ගිල්වා දැමීමෙන් කිමිදුම්කරුවන්ට පාරාදීසයක් නිර්මාණය කිරීම සහ කොරල් වැවීමෙන් මත්ස්‍යගහනයක් වැඩි කිරීමට ක්‍රියා කිරීමයි. ඒ අනුව නාවික හමුදාව මෙම නැව ගිල්ලවීමේ කටයුතු සිදු කිරීමට පෙලඹිණි.


වෙලින් නෞකාව වැනි විශාල නෞකාවක් මුහුද ට ගිල්ල වූ දෙවන අවස්ථාව මෙය විය. එයට පෙර 70 දශකයේ රුසියාවෙන් තිළිණ කළ සමුද්‍රදේවී නෞකාව එම ඉරණමට ගොදුරු කරන ලදි. එය 1980 වසරේ දී ගිල්ලවා දමා තිබුණි.


තවද භාවිතයෙන් ඉවත් කර තිබු ප‍්‍රහාරක යාත‍්‍රා කිහිපයක් පසුගිය වසරවල ගිල්වා දමා තිබූ අතර ගජතා, රණකාමී, රක්ෂක, ඇතුළු කිහිපයක් ඒවා අතර වූ බව නාවික හමුදාව කියයි.


(මෙම තොරතුරු ලබා දීමට සහය දැක් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් කේ. කේ. සී. උදයංග මහත්වරුන්ට විශේෂ ස්තුතිය.)

 

 

 

 

 

සටහන - ඉන්දිකා රාමනායක
ඡායාරූපය - නාවික හමුදා මාධ්‍ය ඒකකයෙනි.