අසාධ්‍ය නොවන කොවිඩ් රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර කරන්න


- සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි  

(දයාසීලි ලියනගේ)  

කොරෝනා රෝගය එන්න එන්නම වැඩි වෙමින් පවතින නිසා රෝහල්වල තදබදය අඩු කිරීමට රෝගීන්ගේ තත්ත්වය හා පරිසරය සලකා බලා බරපතළ නොවන රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස සෞඛ්‍ය අංශ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 

දැනටමත් කොරෝනා රෝගියකු රෝහල් ගත කිරීමට දින තුන හතරක් ගන්නා අතර රෝගියා අවදානම් සහගත නොවේ නම් ඔහුට නිවසේ සිට ප්‍රතිකාර ලැබිය හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා ඇත.  
කොරෝනා රෝගීන්ගේ ඔක්සිජන් පරිහරණය වැඩි නිසා රෝහල්වලට ඔක්සිජන් පහසුකම් ප්‍රමාණවත් තරම් ගබඩා කර ගන්නා ලෙසට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවේ දී ඉල්ලා ඇත.  


රෝහල්වලට වෛද්‍ය හිඟයක් ඇති නොවීම සඳහා සීමා වාසික වෛද්‍යවරු වහාම බඳවා ගන්නා ලෙසට ද මෙහිදී ඉල්ලා ඇත.