අවුරුද්දකින් තිබ්බත් මේ ක්‍රම අනුගමනය කළ යුතුයි ඡන්දෙ තියන්න සෞඛ්‍ය නිර්දේශ අද හෙටම කොමිසමට


විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි  

  • මුඛ ආවරණ-දුරස්ථභාවය අවශ්‍යමයි  

(අජන්ත කුමාර අගලකඩ)  

මහ මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ඇතුළත් සෞඛ්‍ය නිර්දේශ මාලාවක් ඉදිරි දින දෙක තුන තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  

මහ මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වුවත්, මාස 6කින් හෝ අවුරුද්දකින් පැවැත්වූවත්, එම කොන්දේසි අනුගමනය කළ යුතු යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.  
සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළඳීම, නිරතුරුව අත් සේදීම ආදී සෞඛ්‍යමය කාරණා රැසක් එම නිර්දේශ මාලාවට ඇතුළත් වෙන බව ද ඔහු කීවේය. මැතිවරණය පැවැත්වෙන දිනය තමාට අදාළ කාරණයක් නොව, මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන්නක් බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණය කිනම් දිනක පැවැත්වුවද මෙම සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් එය පැවැත්වීම අනිවාර්ය බව ද කීවේය.  


සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග අවස්ථා දෙකකදී සාකච්ඡා කළ බව කී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර, මෙම සෞඛ්‍ය නිර්දේශ සකස් කළ බව ද සඳහන් කළේය.  


කොරෝනා වයිරසය ව්‍යාප්තියේ පාලනයක් මේ වනවිට ඇතිවී තිබෙන බව ද ඔහු පැවැසීය.