අවම බස් ගාස්තුව රුපියල් 15 වෙයිද?


(මහින්ද නිශ්ශංක)  

මේ වසර සඳහා ලැබිය යුතු වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ඉහළ ප්‍රතිශතයක බස් ගාස්තුවක් විය යුතු අතර දැනට රුපියල් 12ක් වන අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩිවිය යුතු යැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පවසයි.  

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව ඉකුත් ජූලි 1 ද‌ා ලැබිය යුතු මේ වසරට හිමි වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙතෙක් ලබා නොදීම පිළිබඳව බස් හිමියන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පවසන සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන මහතා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබා දීම ප්‍රමාද කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස්හිමියන් විරෝධය දක්වන බව ද කීය.  


මේ වන විට පෞද්ගලික බස්රථ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි තරමට කඩා වැටී ඇති අතර බස්වල ආද‌ායම ද සියයට 50 කින් පමණ අඩු වී ඇතැයි පෙන්වා දෙන ලේකම්වරයා බස්රථ අමතර කොටස් මිල, ටයර් ටියුබ් මිල 200% කින් පමණ ද බස්රථවල මිල 70% කින් පමණ ද ඉහළ ගොස් ඇති බවත් මීට අමතරව පිරිවැයවල ඉහළ යාමක් සිදුව ඇතැයි පැවසීය.  


මේ අනුව මේ වසර සඳහා ඉහළ බස් ගාස්තුවක් ලබා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව වහා පියවර ගතයුතු යැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අන්ජන මහතා කීය.  


මේ අතර මේ වසරට ලැබිය යුතු වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධව කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මේ වසරට හිමි වාර්ෂික බස් ගාස්තුව සංශෝධනය ලබා දීමට මාස දෙකක් පමණ ගතවන බවයි.