අවදානමක් නැති දිස්ත්‍රික්කවලත් කොටස් වශයෙන් ඇඳිරිය ඉවත් කරන්න


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ජනපතිට යෝජනාවක් 

(දයාසීලි ලියනගේ)   

කෝවිඩ් 19 රෝගය සම්බන්ධයෙන් අවදානමක් නෙමැති දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇඳිරි නීතිය ඉවත් කිරීම පළමුවෙන් 

කළයුතු බවට යෝජනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉදිරිපත් කර තිබේ.   

ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සෞඛ්‍ය අංශය ලබා දෙන උපදෙස් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට මෙමගින් යෝජනා කර ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කීය.   


සමස්ත ශ්‍රී ලංකාවෙන්ම තුනෙන් දෙකක ප්‍රමාණයක එකම රෝගියෙක්වත් වාර්තා වී නැති අතර එම දිස්ත්‍රික්ක සියල්ල එකවර විවෘත නොකර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකක් හෝ කීපයක් වශයෙන් අවම පරිපාලන ඒකක මට්ටමින් සමාජ කටයුතු සඳහා විවෘත කරන ලෙස ජනාධිපතිවරයා වෙත බාරදුන් වාර්තාවෙන් යෝජනා කර ඇතැයිද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.   


එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හෝ කීපයක් විවෘත කිරීමේදී එම ප්‍රදේශ වටා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිමිත කාලයක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කර ඇත.   


අවදානම් කලාපවලද රෝගීන් වාර්තා නොවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය ඉවත් කරන ලෙසටද මෙම වාර්තාවෙන් යෝජනා කර ඇති බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කීය.  අවදානම් නොවන දිස්ත්‍රික්කවල වුවත් එකවර දිස්ත්‍රික්ක මට්ටමින් ඇඳිරි නීතිය ඉවත් නොකර කුඩා පරිපාලන ඒකක මට්ටමින් ඇඳිරි නීතිය ඉවත් කර යම් කාලයකට එම ප්‍රදේශවලින් ජනතාව එළියට යාමටත් පිටතින් ඒමටත් ඉඩ නොදිය යුතු බවද සඳහන් කර ඇත.

   
මේ තත්ත්වයට ක්‍රම ක්‍රමයෙන් ඇඳිරි නිතිය ඉවත් නොකර ප්‍රදේශ මුළුමනින්ම නිරාවරණය කළහොත් දැඩි අවදානමකට මුහුණ දීමට සිදු වෙන බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.