අලුත් සන්ධානයේ මහලේකම් පොහොට්ටුවෙන් ජාතික සංවිධායක ශ්‍රීලනිපයෙන්


(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහලේකම් ධුරය පොදුජන පෙරමුණටත් ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ලේකම් ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබාදීමට එම පක්ෂ දෙක එකඟතාවකට පැමිණ ඇත.   

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නව සන්ධානයේ සම නායකයන් ලෙස පත් කෙරෙන අතර සන්ධානයේ සභාපති ධුරය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවනු ඇතැයි වාර්තා වේ.   


සන්ධානයේ උපලේකම් හා උපසභාපති ධුර කිහිපයක් හවුල්කාර සෙසු පක්ෂවලට ලබාදීමට නියමිතය.   


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂද සම්බන්ධකර ගනිමින් පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට ලබන බ්‍රහස්පතින්දා (31) උදේ 10.00ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් කෙරේ.   


නව සන්ධානය ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයට පුටුව ලකුණින් තරග කරනු ඇත.