අලුත් සන්ධානයේ ප්‍රගතිය විමසන්න ජනපති විපක්ෂනායක හමුවක් ළඟදීම


 

(අජන්ත කුමාර අගලකඩ)  

එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් අතර කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ළඟදීම පැවැත්වීමට නියමිත බව දේශපාන ආරංචිමාර්ග සඳහන් කරයි.  

ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් අතර ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිත සිව්වැනි සාකච්ඡා වටයට පෙර, නායකයින් දෙපළ අතර මෙම හමුව පැවැත්වෙනු ඇතැයි පැවසේ. ජනාධිපතිවරයාත් විපක්ෂනායකවරයාත් සාකච්ඡා සඳහා පත් කරනු ලැබ සිටින පක්ෂ දෙකේ නියෝජිත කණ්ඩායම් දෙකක් මෙම සාකච්ඡාවට සම්බන්ධ වනු ඇතැයි දැන ගන්නට තිබේ.  


එජාප විරෝධී පුළුල් සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා වට තුනක් මේ වනවිට පවත්වා ඇති අතර එහි මීළඟ සාකච්ඡාව ලබන මස 9 වැනිදා පැවැත්වේ.   


මේ අතර දෙපාර්ශ්වයේ සාකච්ඡාවලදී එකඟතාවට පැමිණි මූලික ප්‍රතිපත්තිමය කාරණා 25ක් පිළිබඳ යෝජනා පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභාවලට ඉදිරිපත් කර ලබන 9 වැනිදාට පෙර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද මෙම සාකච්ඡාවලට සහභාගිවන නියෝජිතයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.