අලුත් වයිරසය යුරෝපයෙන් ආ බවට කිසිදු සාධකයක් නෑ


ජ’පුර පර් යේෂණ කණ්ඩායම  

(උපුල් වික්‍රමසිංහ)

රටේ දැන් පැතිර යමින් තිබෙන කොරෝනා වයිරසය යුරෝපා රටකින් ලංකාවට පැමිණි බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් නොමැති බව වයිරසය පිළිබඳ පර්යේෂණය කළ වෛද්‍ය විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවාය.   

ලංකාවේ මේ දිනවල පවතින වයිරසය ජානමය වෙනස්වීම්වලට ලක්ව ඇති බැවින් එහි යම් යම් ප්‍රභේද ඇති බවත් රටේ දැන් වාර්තා වන ප්‍රභේදය පළමුව හඳුනාගෙන තිබෙන්නේ යුරෝපා රටක වුව ද වයිරසය අදාළ යුරෝපා රටින් මෙරටට පැමිණි බවක් ඉන් අදහස් වන්නේ නැති බවත් මහාචාර්යවරිය අවධාරණය කළාය.   
කොවිඩ් පළමු රැල්ලේදී මෙරට පැතිර ගිය වයිරසයට වඩා දැන් පැතිර යමින් පවතින වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව අතින් ඉහළ බව සඳහන් කළ මලවිගේ මහත්මිය වයිරසය තරුණ ප්‍රජාව අතරේ ද ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවත් පෙනහලු හා හෘද ආශ්‍රිත දිගු කාලීන රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළාය.   


මේ පර්යේෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විද්‍යාඥයන් කණ්ඩායමකගේ මූලිකත්වයෙන් සිදු කළ අතර එහි වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී ඇත.