අලුත් මන්ත්‍රීන්ගේ මංගල රැස්වීමට ගැසට් එකෙන් ලෙඩක්


(දයාසීලි ලියනගේ)   
මැතිවරණයෙන් තේරී පත් ​ෙවන පළාත් පාලන සභිකයන්ගේ ප්‍රථම රැස්වීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවක් නිසා, එම රැස්වීම පැවැත්වෙන වෙනත් දිනයක් යළි ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. 

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ පෙබරවාරි 15 වැනි දින ප්‍රථම රැස්වීම් පැවැත්විය යුතු බව සඳහන් වී තිබිණි. 


එහෙත් පළාත් පාලන පනතට අනුව ප්‍රථම රැස්වීම පැවැත්වීමට දින 7කට පෙර පළාත් පාලන කොමසාරිස්වරු විසින් පළමු රැස්වීම පැවැත්වෙන දිනය සියලු සභිකයන් වෙත දැනුම් දිය යුතුව තිබේ. මේ තත්ත්වයන් පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශය හා මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක් පවත්වා අැත. 


එහිදී ප්‍රායෝගික කරුණු හා පනතේ සඳහන් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ප්‍රථම රැස්වීම පැවැත්වෙන දිනය සඳහන් කර යළි ගැසට් පත්‍රයක් අමාත්‍යංශය මඟින් නිකුත් කළ යුතු බව තීරණය කර ඇතැයි වාර්තා වේ. 


ඒ අනුව ප්‍රථම රැස්වීම මාර්තු මුල් සතියේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.