අලුත් ගැසට්ටුවෙනුත් ඇමැති විෂය වෙනසක් නෑ


(අජන්ත කුමාර අගලකඩ)   

කැබිනට් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් හා කැබිනට් නොවන ඇමැතිවරුන් කිහිප දෙනකුට විෂය පථයන් හා ආයතන පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කරනු ලැබ ඇත. 


විෂය පථයන් සංශෝධනය කිරීමේදී රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අලුතින් ආයතන කිහිපයක් එක්කරනු ඇති බවට මුලදී ආරංචි පැතිර ගියද ඔහුගේ අමාත්‍යාංශයට අලුතින් කිසිදු ආයතනයක් පවරා නොමැත. 

 

ඒ වෙනුවට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යාංශයේ විෂය පථය යටතට කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලය පිහිටුවීම සහ ඊට අදාළ කටයුතු යන අයිතමය පමණක් නව ගැසට් නිවේදනයක් මගින් ඇතුළත් කර ඇත. 


කිරිඇල්ල මහතාගේ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතට අයත් ආයතන ලෙස ලංකා පිඟන් සංස්ථාව (ගඩොල් සහ උළු අංශය), සීමාසහිත කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම, සීමාසහිත බීසීසී සමාගම සහ රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව යන ආයතන හතර මීට පෙර නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පවරා තිබිණි. 


තමන්ට අසාධාරණයක් සිදුව ඇති බැවින් අමාත්‍යාංශයේ විෂය පථය සංශෝධනය කරන්නැයි කිරිඇල්ල මහතා අගමැතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාගෙන්ද මීට පෙර ඉල්ලීමක් කර තිබිණි. 


මේ අතර අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ අමාත්‍යාංශය යටතේ මුලදී ගසට් කර තිබූ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඉන් ඉවත්කර නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති රාවුෆ් හකීම් මහතාගේ අමාත්‍යාංශය යටතට අලුත් ගැසට් නිවේදනය මගින් පත්කර ඇත.