අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමකට සූද‌ානම්


වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

වන අලින්ගෙන් තර්ජන ඇති ගම්මාන වෙත ගොස් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි පරිසර සහ වනජීවී, ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.  

ඒ අනුව වනජීවී නිලධාරීන් සමඟ ගොස් ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට ක්‍රියාකරන බව ඔහු සඳහන් කළේය. ඇතැම් මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා ද වන අලින් ගම් වැදීම් සිදුවන අතර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන බව අමාත්‍යවරයා පැවසීය.  


ඊට අමතරව වන අලි තර්ජන පවතින ප්‍රදේශවල අක්‍රිය වී ඇති අලි වැට ප්‍රතිසංස්කරණය කර ගම්වාසීන් ආරක්ෂා කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර හබරන හිරිවඩුන්න රක්ෂිතයේ දී වන අලින් හත් දෙනා මිය යාම පිළිබඳ මෙතෙක් රස පරික්ෂක වාර්තාව ලැබී නැත. එම වාර්තාව ලැබුණ සැනින් ස්වාධීන පරික්ෂණයක් පැවැත් වීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සිද්ධිය තුළ දේශපාලන බලපෑමක් ද පවතින බවට රාවයක් ඇතැයි ප්‍රචාරය වන අතර ඒ පිළිබඳව ද සොයා බලන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.