අර්ථසාධකේ මුදල් කොටස් වෙළෙඳ පොළේ යෙදවීමේ යෝජනාවට ජවිපෙ විරෝධය


(දයාසීලි ලියනගේ)  

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර මණ්ඩලය සතු රුපියල් බිලියන 2300 ක මුදල කොටස් වෙළෙඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.  

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ආසියානු සංවර්ධන මණ්ඩලය මෙම වැඩපිළිවෙළ සඳහා දැනටමත් ව්‍යාපෘති සකස් කර තිබෙන බවයි.  
මෙම අරමුදල්වලින් සියයට 4 කටත් වඩා අඩු ප්‍රමාණයක් දැනටමත් කොටස් වෙළෙඳ පොළේ යොදවනු ලබන අතර ඊට වඩා අතිවිශාල ප්‍රමාණයක් කොටස් වෙළෙඳ​පොළේ යෙදවීමට රජය සැලසුම් කර තිබෙන බවද වසන්ත සමරසිංහ මහතා කීය.  


මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහොත් එමගින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට බරපතළ හානියක් වෙන බැවින් එම ක්‍රමයට විරෝධය දක්වා රටපුරා උද්ඝෝෂණ ව්‍යාපෘති පවත්වන බව ද ඔහු කීය.