අයි එස් ත්‍රස්ත නායකයා සැඟවී සිටින්නේ ලිබියාවේ


ශ්‍රී ලංකාවේ ප්‍රහාරයෙන් පසු නිකුත් කළ වීඩියෝව අධ්‍යයනය කර සොයා ගනී

 

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු අයිඑස් නායක අබුබකර් අල් බැග්ඩාඩි නිකුත් කළ වීඩියෝ පටය අධ්‍යයනය කළ බ්‍රිතාන්‍ය හමුදා ඒකකයක් ත්‍රස්ත නායකයා ලිබියාවේ සැඟ වී සිටින බව සොයාගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ ද එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරයි.


බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් තරංග නිරීක්ෂණ ඒකකයක් විසින් අල් බැග්ඩාඩි සිටින ස්ථානය ග්‍රහණය කරමින් සිටි බව එම වාර්තාවේ සඳහන් වෙයි.
අයිඑස් සටන්කාමීන්ට සිරියාවේ හිමිකරගෙන තිබූ භූමිය අහිමි වූ පසු මෙම ත්‍රස්ත නායකයා ඔහු අවසන් වරට සිටි බාගෝස් නගරයෙන් නොදන්නා තැනකට පලාගොස් තිබිණි. බ්‍රිතාන්‍ය හමුදා අංශ සැකකරන්නේ ඔහුගේ අලුත්ම තිප්පොළ ලිබියාවේ යම් කිසි නගරයක් බවය. ශ්‍රී ලංකාවේ ප්‍රහාරයෙන් පසු ඔහු විඩියෝවක් නිකුත් කළේ මෙම නගරයේ සිට බව සැලකේ.


ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු උපුටා දක්වමින් එම පුවත්පත මෙසේ සඳහන් කරයි “ඔහුට නිදහසේ ජීවත්විය නොහැකිය. ඔහු සිටින්නේ අප්‍රකටව බවත් නිදහසේ ඇවිද ගිය නොහැකි බවත් අපි විශ්වාස කරමු. එහෙත් ඔහු සහ ඔහුගේ පිරිස සොයා ගැනීම සඳහා අප සතුව ක්‍රම ගණනාවක් තිබේ. මෙවර ඔහු වැඩ වරද්දා ගනු ඇතැයි’’ එම නිලධාරියා සඳහන් කර ඇත.


“එය විශ්වසනීය බුද්ධි තොරතුරකි. නමුත් අපි එය තහවුරු කරගත යුතුය” එම නිලධාරියා වැඩිදුරටත් පැවසූ බව එම පත්‍රය කියයි.


අයිඑස් ත්‍රස්ත නායකයාගේ හිස වෙනුවෙන් ඇ​ෙමරිකා ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් ලබාදෙන බවද ඇමරිකානු රජය මේ වනවිට නිවේදනය කර ඇත.