අයවැයේදී විරුද්ධ වෙන්න ශ්‍රීලනිප - පොහොට්ටු යළි සාකච්ඡා


(අජන්ත කුමාර අගලකඩ)  
අයවැය දෙවන වර කියවීමේ ඡන්දය විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටිය ද, ලබන මස 5 වැනිදා පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සමග එක්ව අයවැයට විරුද්ධව ඡන්දය දීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉකුත් අඟහරුවාදා පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට ඒකමතික තීරණයක් ගෙන තිබිය දී එදින සවස ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීම නිසා, දෙපාර්ශ්වය අතර ගොඩනැගෙමින් තිබෙන සමගියට ද එය යම් බලපෑමක් එල්ල කර තිබිණි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා ආරම්භ වී තිබිය දී ශ්‍රීලනිපය අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීමේදී වෙනත් තීරණයක් ගැනීම එම සාකච්ඡාවලට ද බාධාවක් විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග එක්ව ලබන 5 වැනිදා පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්දය දෙනු ඇතැයි එම ආරංචිමාර්ග කියයි.