අයවැයෙන් මහජනයා බලාපොරොත්තු ​ෙවන දේ මෙන්න


 

මැතිවරණයක් ළංවීමත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු කිරීම අපට දැකිය හැකි සුලබ දසුනකි. මෙය බලයට පත්වෙන සෑම රජයක්ම පාහේ සිදුකරන ක්‍රියාවක් බවත් ඉදිරි මැතිවරණයේදී නැවත බලය ලබා ගැනීමේ උපායක් බවත් මහජනතාව සඳහන් කරයි.   


 මෙලෙසම අයවැයක් ළංවෙත්ම භාණ්ඩවල මිල අඩුකිරීමත් දැකිය හැකි කරුණකි. එහෙත් ජනතාව මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් සිටී. භාණ්ඩවල මිල අඩු කිරීම හෝ වැඩි කිරීම සිදුකරන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව දැන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබේ.   


 අයවැයක් ළංවෙත්ම ඇතැම් ව්‍යාපාරිකයෝ වැඩිවෙන භාණ්ඩවල මිල හෝ අඩුවෙන භාණ්ඩවල මිල හෝ පිළිබඳව උකුසු ඇසකින් බලති. ඒ නිසා වැඩිවෙන බවට සැලවෙන ඇතැම් භාණ්ඩ ඔවුන් ඊට පෙර ගබඩා කර තබාගෙන පසුදිනම එම භාණ්ඩ වැඩිවූ අගයට අලෙවි කරන වෙළෙන්දෝ ද සිටිති. එහෙත් භාණ්ඩවල මිල අඩුවූ විට එහි මිල ඒ මොහොතේම අඩු කෙරන්නේ නම් නැත. ඒ ඔවුන්ගේ වාසිය තකා කියන්නේ ඒවා පැරණි මිලට ගෙනා බඩු බවය.   
 කෙසේ වෙතත් ජනතාවට සහනයක් සැලසෙන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකිරීම බලයට පත්වෙන සෑම ආණ්ඩුවකම වගකීමයි. මේ නිසා ජනතාවගේ පැත්තෙන් බලා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩුකිරීම ඔවුනට කෙරෙන විශාල සහනයකි.   


වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යාමත්, අයවැයක් ළංවෙත්ම භාණ්ඩවල මිල ඉහළ යාම හෝ පහත වැටීම පිළිබඳ අපි වෙළෙඳ ප්‍රජාවගෙන් හා පාරිභෝගික ජනතාවගෙන් විමසීමක් කළෙමු. බොහෝ දෙනෙකුගේ අදහස වූයේ අයවැයක් ළංවෙත්ම භාණ්ඩවල මිල අඩුවීම හෝ වැඩිවීම කෙරෙහි මෙන්ම අය වැය පිළිබඳව ද සෑහීමකට පත්විය නොහැකි බවයි.


බදු වැඩි කරන එකක් නෑ කියා අපි හිතනවා  
මේ පිළිබඳව අප පිටකොටුව හතරවැනි හරස් වීදියේ තොග වෙළෙන්දෙකු වන දෙමටගොඩ පදිංචි බාලසුබ්‍රමනියම් මහතාගෙන් විමසීමක් කළෙමු.   


ප්‍රශ්නය :- ඔබ තොග වශයෙන් අලෙවි කරන්නේ මොනවාද?   
පිළිතුර :-
මම තොග වශයෙන් අලෙවි කරන්නේ සහල්, ලොකු ලූනු, රතු ලූනු, වගේම සුදු ලූනු, අල වගේ දේවල්.     


ප්‍රශ්නය :- කොහෙන්ද මේ භාණ්ඩ රැගෙන එන්නේ?   
පිළිතුර :-
අපි ගේන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන්.   


ප්‍රශ්නය :- ඉදිරියේ ගෙන එන අයවැයත් සමඟ ඔබ ආනයනය කරන භාණ්ඩවලට කෙසේ බලපායිද?   
පිළිතුර :-
බලපානවා කියන්නේ අපි භාණ්ඩ ආනයනයන් කරන්නේ. අපි කරන්නේ මිලට ගෙන නැවත අලෙවි කරන එක. ඒ කියන්නේ ‘බයින් ඇන්ඩ් සෙලින්’ අපිට විදේශ රටවලින් ඒ කියන්නේ ඉන්දියාව හෝ පාකිස්ථානයෙන් භාණ්ඩ ගෙනල්ලා දෙනවා. ඒ ගොල්ලෝ මිලක් නියම කරනවා. දැන් මේ දවස්වල භාණ්ඩවල මිල ටිකක් අධිකයි. ඒ ගොල්ලෝ කියනවා මේ මිලට අලෙවි කරන්න කියලා. මොකද ඉන්දියාවේ මේ දිනවල මිල අධිකයි. ඉන්දියාවේ මිල අධික නිසා ලංකාවේත් මිල වැඩියි. ඉන්දියාවේ මිල අඩුනම් මෙහෙත් මිල අඩුකරන්න පුළුවන්.   


ප්‍රශ්නය :- දැන් වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක් කීයකටද අලෙවි වෙන්නේ?   
පිළිතුර :-
දැන් නම් මේ දිනවල ලොකු ලූනු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140ත් 160ත් අතරේ තමයි රැඳෙන්නේ. රතු ලූනු 350 ක් වෙනවා. ආනයනික රතු ලූනු මිල ඉහළයි. ඉන්දියානු අර්තාපල් රුපියල් 80 යි. පාකිස්ථාන අර්තාපල් රුපියල් 90 යි. ලංකාවේ වැලිමඩ අර්තාපල් රුපියල් 100 ක් වගේ මිලකටයි අලෙවි වන්නේ.   


ප්‍රශ්නය :-ඉදිරි අයවැයත් එක්ක කොහොමද මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ?   
පිළිතුර :-
අපි බලාපොරොත්තු වෙනවා අයවැයෙන් භාණ්ඩ මිල අඩුවෙයි කියලා. ඉන්දියාවේ ලූනු වාරය පැමිණියාම මිල අඩුවෙයි. වැඩිවෙන එකක් නැහැ. අපි බලාගෙන ඉන්නේ අයවැයෙන් පස්සේ අඩුවෙයි කියලා.   


ප්‍රශ්නය :- අයවැයෙන් ආනයනික භාණ්ඩවල බදු මුදල් වැඩි උවහොත්?   
පිළිතුර :-
බදු වැඩි කරන එකක් නැහැ. අඩු කරයි කියලා තමයි අපි බලාපොරාත්තු වෙන්නේ. ලංකාවේ ලූනු වාරය තිබුණ නිසා තමයි බදු වැඩි කළේ. ලංකාවේ වාරය ඉවර වුණා. ඒක නිසා බදු අඩු කළහොත් තවත් මිල අඩුවෙයි.   


ප්‍රශ්නය :- එතකොට දැන් භාණ්ඩ මිලදී ගත් ගානට වඩා අඩුවෙයිද?   
පිළිතුර :-
බොහෝ දුරට. අපි ගෙනාව මිලට වඩා අඩුවෙන් තමයි අලෙවි කරන්න වෙන්නේ. රුපියල් 10 ක් හෝ 15 අඩුවෙන් දෙන්න සිද්ධ වෙයි. දැන් පනහේ කන්ටේනර් එක සියයේ කන්ටේනරය වුණොත් මිල අඩුවෙනවා. භාණ්ඩ ගොඩක් වෙළෙඳ පොළට ලැබෙනවානේ. ඒ නිසා බඩු අඩුවෙනවා.

 


සහල් හිඟයි  


පිටකොටුවේ සහල් තොග වශයෙන් අලෙවි කරන ව්‍යාපාරිකයකු වූ කොළඹ පදිංචි බාලේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේ ලංකාවේ නිෂ්පාදිත සහල්වල හිඟයක් පවතින නිසා මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.   


ප්‍රශ්නය :- මොන වගේ දේවල් ද ඔබ අලෙවි කරන්නේ?   
පිළිතුර :
-අපි සහල් පමණයි අලෙවි කරන්නේ. ලංකාවේ සහල් හිඟයක් පවතින නිසා දැන් අපි විදේශ රටවලින් ආනයනය කරන සහල් තමයි වැඩිපුර අලෙවි කරන්නේ.   


ප්‍රශ්නය :- ඇයි දේශීය සහල් අලෙවි කරන්නේ නැද්ද?   
පිළිතුර :-
දේශීය සහල් අපි අලෙවි කරනවා. නමුත් දැන් සහල් හිඟයි. ඒක නිසා දේශීය සහල් මිල ඉහළයි. පාරිභෝගිකයන් ඒවා මිලදී ගන්නේ නැහැ. ඒක නිසා විදේශීය රටවලින් ගෙන එන සහල්වලට ඉල්ලුමක් තිබෙනවා. ඒවායේ මිල අඩුයි. ලංකාවේ සහල් රස අතින් ඉහළයි. ජනතාවට දැන් මුදල් නැති නිසා ලාභ දේ තමයි මිලදී ගන්නේ.   
ප්‍රශ්නය :- ඉදිරි අයවැයේදී වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවාද?   
පිළිතුර :-
අයවැයෙන් අඩුවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. දේශීය සහල් වෙළෙඳ පොළට ලැබුණොත් ඉබේම මිල අඩුවෙනවා.   


ප්‍රශ්නය :- ඒ කියන්නේ අයවැයෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න බැරිද?   
පිළිතුර :-
ලංකාවේ සහල් මිල අඩුවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් පාරිභෝගිකයෝත් එන්නේ නැහැ. අපි ලයිට් බිල කඩකුලිය ගෙවන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්නේ. අයවැයෙන් සහනයක් බලාපොරොත්තු වෙන්නේ ජනවාරි පෙබරවාරි වලින් පස්සේ තමයි. එතකම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා තමයි කල්පනා කරන්නේ.   


 දැනට වෙළෙඳ පොළේ පවතින භාණ්ඩ මිල අධිකවීම ජනතාවට දැරිය නොහැකි අතර මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතියි. රජය පසුගියදා පෙට්‍රල් හා ඩීසල්වල මිල ගණන් අඩුකිරීමටම අවධානයක් යොමුකර තිබුණා. කෙසේ වෙතත් ස්ථීර වශයෙන්ම ඉන්ධනවල මිල අඩුකරන ආකාරය හෝ අඩු කරන දිනයක් පිළිබඳ මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

 


කුඩා වෙළෙඳුන්ට සහනයක් ඕනෑ 

පිටකොටුවේ තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ සුනිල් ශාන්ත මහතා ප්‍රකාශ කළේ මේ වෙන විට ව්‍යාපාර කරගෙන යාමට හෝ ජීවත්වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. මෙවර අයවැයෙන් හෝ කුඩා සිල්ලර වෙළෙඳුන්ට යම් සහනයක් ලබා දෙනවා නම් ඒක අපේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට බොහෝ සුබදායක දෙයක් වෙන බව කිව හැකියි.   


ප්‍රශ්නය :- ඔබගේ ව්‍යාපාරය ගැන සඳහන් කළහොත්?   
පිළිතුර :-
මම තොග හා සිල්ලර ව්‍යාපාරයක් තමයි පවත්වාගෙන යන්නේ. මේ දිනවල සහල් මිල ඉතා ඉහළ ගොස් ඇති නිසා පාරිභෝගිකයන්ට එය දරාගන්න බැහැ. පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාරික අපිත් ඉතා අසරණ වෙලා ඉන්නේ.   


ප්‍රශ්නය :- මෙවර අයවැයෙන් සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවාද?   
පිළිතුර :-
අපි බලාපොරොත්තු වෙනවා සහනයක් ලබා දෙයි කියලා. ඒත් අපට ස්ථීර වශයෙන්ම කියන්න බැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකරයි කියලා. එහෙම අඩුකරනවා නම් ඒක ජනතාවට කරන සහනයක්. දැන් බලන්න ලංකාවේ ලොකු ලූනු වගා කෙරෙන්නේ අවුරුද්දටම මාස 3 ක කාලයක් පමණයි. ඉතින් පිටරටින් තමයි ලූනු ගේන්නේ. ලූනු වලට අයකරන බද්ද අඩු කරනවා නම් මෙවර අයවැයෙන් ඒක ලොකු සහනයක්.   


අයවැයෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. ජනතාවට තුන්වෙල කාලා ජීවත් වෙන්න යම් සහනයක් හෝ ලබා දෙනවා නම් ඒක ඉතා හොඳයි. රජයෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කරලා තිබෙනවා. ඒක හොඳ දෙයක්.   
මේ ආණ්ඩුවෙන් ජනතාවට හොඳ දේවල් ටිකක් කරලා තිබෙනවා. පසුගිය ආණ්ඩුවට වඩා. ගෑස් මිල අඩුවෙලා තිබෙනවා. ඒකෙන් ලොකු සහනයක් ජනතාවට ලැබෙනවා. මාසෙකට රුපියල් පන්දාහසක පමණ ලාභයක් ලැබෙනවා. සාපේක්ෂව බැලුවහම ජනතාවට ඒක නොදැනුනාට හැමදාම ඒ සහනය ලැබෙනවා නම් හුඟක් හොඳයි. ඒත් එහෙම දෙන්න පුළුවන්කමක් නෑනේ. කිරිපිටි රුපියල් දාහකට පමණ තිබුණ එක 800 ක වගේ මිලකට අඩුවෙලා තිබෙනවා. මාසෙකට කිරි පිටි පැකට් 4 ක් විතර එක් පවුලක් පාවිච්චි කළහොත් එහෙත් සැලකිය යුතු ගණනක් ඉතිරිවෙනවා. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් වගේ දේවල් මේ ආණ්ඩුවෙන් අඩුකරලා තිබෙනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේම වෙළෙඳ පොළේ භාණ්ඩ හිඟ අවස්ථාවක සාමාන්‍යයෙන් මිල වැඩි වීමක් තිබෙනවා. විශේෂයෙන් පොල් මිල අඩු කරන්න ඕනෑ. ඒකට සුදුසු වැඩ පිළිවෙළක් ආණ්ඩුව සකස් කළ යුතුයි.   


ප්‍රශ්නය :- අයවැයෙන් සහනයක් ලැබෙයිද?   
පිළිතුර :-
මිනිසුන්ගේ ආර්ථික මට්ටම සලකා බලලා සහනයක් ලබා දෙනවා නම් ඉතා හොඳයි. විශේෂයෙන් එදිනෙදා තුන්වෙල කන ජනතාවටත්, දෛනික ආදායම් ලබන ජනතාවටත් සහනයක් ලැබෙයි කියලා අපි විශ්වාසයෙන් සිටිනවා. කොළඹ ප්‍රදේශයේ වෙළඳාම් කටයුතු නම් ඉතාමත් පහත බැස තිබෙනවා. 

 


මිල බහිනවානම් ලොකු දෙයක්

කෙසේ වෙතත් මෙවර අයවැයෙන් හෝ බඩු මිල අඩුවෙලා තමන්ට සහනයක් ලැබෙනවා නම් එය විශාල සහනයක් බව පාරිභෝගික ජනතාව සඳහන් කරයි. පාරිභෝගිකයකු වන කිරිබත්ගොඩ නීල් මහතා ප්‍රකාශ කළේ ඉදිරි අයවැයෙන් හෝ ජනතාවට සෙතක් වෙනවා නම් ඒක ලොකු දෙයක් බවයි. ඒත් ජනතාවට සෙතක් වෙයි කියලා සිතන්න අපහසුයි. වචනයෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ. මහජනයාගේ ඇඟට තමයි බර පැටවෙන්නේ. බඩු මිල අඩුකරනවා කියලා කටින් විතරයි කියන්නේ. නමුත් කෙරෙන්නේ නැහැ. අපිත් ඉතින් බලන් ඉන්නවානේ. 

 
 අපි දන්නවා මේ අයවැයෙනුත් බඩු මිල පහත බහින එකක් නැහැ කියලා. බඩු මිල වැඩිවෙනවා මිසක් අඩුවෙන එකක් නැහැ. අපිත් දැන් කාලයක සිට බලන් ඉන්නවානේ. කොයි රජයක් බලයට පත් වුවත් බඩු මිල අඩු කරනවා කියලා කියනවා. නමුත් අඩුවෙන්නේ නැහැ. අඩු කරලා නැවත මාස කිහිපයක් ගියහම නැවත වැඩි කරනවා. මොන ආණ්ඩුව ආවත් ඔය දේ තමයි වෙන්නේ. මට කිසිම දේශපාලනයක් නැහැ. ජනතාව මුළාවෙන එක තමයි සිද්ධ වෙන්නේ.

 


පසුගිය රජයට වඩා මේ රජය හොඳයි  

කිරිබත්ගොඩ පදිංචි කීර්ති මහතා ද ව්‍යාපාරිකයෙකි. ඔහු සඳහන් කළේ මේ තිබෙන තත්ත්වය තරමක් සුබදායක වුවත් ඉදිරියට තවත් සහනයක් ලබා දෙනවා නම් එය හොඳ බවයි.   


ප්‍රශ්නය :- දැන් අය වැය ළඟ එනවා. මොකද ඒ ගැන කියන්නේ?   
පිළිතුර :-
මේ රජය නම් අපට සහන ටිකක් ලබා දීලා තිබෙනවා. පසුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව අපට නම් හොඳයි.   


ප්‍රශ්නය :- අයවැයෙන් යම් යම් බලාපොරොත්තු තබාගත හැකිද?   
පිළිතුර :-
තබාගන්න පුළුවන්. මේ හොරු ටික අල්ලලා හිරේ දාලා ඉවර කරලා ඒ ගොල්ලෝ උපයා ගත්ත සල්ලි ජනතාවගේ සුබ සිද්ධියට යොදවනව නම් හොඳයි. දැන් බලන්න මුං ඇට, ගම්මිරිස්, වියළි මිරිස්, හාල්මැස්සන් වගේ දේවල් පසුගිය ආණ්ඩුවට වඩා මිල අඩුකර තිබෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තය කියනවා ගත්ත ණය කෝටි ගණන් කියලා. ඒක නිසා අය වැයෙන් බඩු මිල අඩුවෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තබන්න බැහැ.මේ මිල ගණන්ම පවතියි. ඒත් මේ යන ක්‍රමය හොඳයි කියලා තමයි අපට කියන්න තිබෙන්නේ. ආණ්ඩු වෙනස් වුණා කියලා ලොකු වෙනසක් නැහැ. එකම රෝදය තමයි කැරකෙන්නේ. එකම කාසියේ දෙපැත්ත.

 


අත්‍යාවශ්‍ය බඩු මිල අඩු කරයි කියා හිතනවා  

පිටකොටුව මැනිං වෙළෙඳපොළේ සිල්ලර කඩ හිමියකු වන ලෙයාස් බ්‍රෝඩ්වේ හි පදිංචි නසාර් මහතා අප වෙත දැක්වූයේ මෙවැනි අදහසකි. 

 
 මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. මහජනතාවට සහනයක් ලැබෙයි කියලා අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. ව්‍යාපාරිකයන් හැටියට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වුණොත් ඒකෙන් අපටත් වාසියක් ලැබෙනවා. පසුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් එක හා සමානව ගමන් කරනවා වගේ තමයි අපට පෙනෙන්නේ.

 


​සහනයක් නොලැබුණොත් වැඩක් නෑ  

 කන්තලේ පදිංචි ගෘහණියක වන එම්.පී. මාලනී මහත්මිය අප සමඟ ප්‍රකාශ කළේ දිනෙන් දිනම වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යන බවයි. එහි අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැයි ඇය සඳහන් කළාය.   


ප්‍රශ්නය :- ඉදිරියේදී ගෙන ඒමට නියමිත අයවැයෙන් යම් සහනයක් ලැබෙයිද?   
පිළිතුර :-
අපි සිතනවා සහනයක් ලැබෙයි කියලා. එහෙම නොලැබුණහොත් මේ ආණ්ඩුව කෙරෙහි අපි තැබූ විශ්වාසය බිඳී යනවා. සහනයක් නොලැබුණහොත් මේ ආණ්ඩුවෙන් කිසිම වැඩක් නැහැ. පහුගිය ආණ්ඩුවත් එක්ක බලනකොට මේ ආණ්ඩුවට වඩා ඒ ආණ්ඩුව හොඳයි. මේ ආණ්ඩුව බලයට පත් වූවාම භාණ්ඩ මිල අඩු කළා. එ්ක තිබුණේ සුළු කාලයයි. නැවත වැඩි කරනවා. දුප්පත් මිනිහා කුලී වැඩ කරන මිනිහා කොහොමද ජීවත් වෙන්නේ. අඩු වැඩි කරන එක අපේ අතේ නෙමෙයිනේ තිබෙන්නේ. එයාලා අතේනේ. මැතිවරණයක් ළඟ එනවා නම් ඔන්න බඩු මිල අඩුකරනවා කියලා පොරොන්දු වෙනවා. ඡන්දෙ ගත්තම අපි වගේ දුප්පත් අය ගැන බලන්නේ නැහැ. ඕක තමයි තත්ත්වය. අපි ඡන්දයක් දෙන හින්දනේ එයාලා ඉහළට එන්නේ. අන්න ඒක නිසා අයවැයෙන්වත් සහනයක් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.

 


අයවැය ගැන විශ්වාසයක් නෑ   

මාතර ගාමිණී සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඔහු අප සමඟ සඳහන් කළේ අයවැය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවයි. අය වැය කියන්නේ නමක් විතරයි.   


ප්‍රශ්නය :- මෙවර අයවැයෙන් භාණ්ඩ මිල අඩුවෙයිද?   
පිළිතුර :-
භාණ්ඩවල මිල නම් අඩුවෙන එකක් නැහැ. අපිට ඒ ගැන විශ්වාසයක් නැහැ. එන්න එන්නම වැඩි වෙන එකයි දකින්නේ. දැන් බලන්න සහල්, පොල්, ලූනු වගේ දේවල්වල මිල අධිකයි. කොහොමද ජනතාව ජීවත් වෙන්නේ? එ් වායේ මිල අඩු කරන්න ඕනෑ. මේ අයවැයෙන්වත්. දැන් පොල් රුපියල් 65 ට දෙනවා කිව්වා. කොහෙද 65 පොල් තිබෙන්නේ.   


 අයවැයක් එනකොට දැනගන්න ඕනෑ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මිලක් දාලා ඒ මිල අඩුකරලා අඩුම තරමේ මාස 6 ක් වත් ඒ තත්ත්වය පවත්වාගෙන යන්න ඕනෑ. ඒ විදිහට සකස් කෙරෙන්න ඕනෑ. පාලන මිලක් දානවා කියලා දවස් දෙක තුනක් වගේ කාලයකට දාලා වැඩක් නැහැ. කියන්න ගොඩක් දේවල් තිබෙනවා. කියන්න ගියොත් රැකියාව කරගෙන යන්න බැහැ.

 


පසුගිය අයවැයේ පොරොන්දු ඉටුකරලා නෑ   

ඉදිරියේදී එන අයවැය මහජනතාවට බලපාන්නේ කෙසේද? මේ පිළිබඳ අප විමසීමක් කළේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතාගෙනි.   


ප්‍රශ්නය :- ඉදිරි අයවැය පාරිභෝගිකයන්ට දැනෙන අයවැයක් වෙයිද?   
පිළිතුර :-
මේ අයවැය ගැන කතා කරන්නට පෙර පහුගිය අයවැය ගැන කතා කළ යුතුමයි. පසුගිය අයවැයෙන් වුණු පොරොන්දු ඉටුවෙලා නැහැ. ඒ නිසා ඉදිරි අයවැයෙනුත් ජනතාවගේ බලාපොරොත්තු ඉ​ටුවෙයි කියලා විශ්වාස කරන්න බැහැ. අයවැයෙන් ලස්සන වගන්ති දාලා ප්‍රකාශ කළාට ඒ වගේ ප්‍රායෝගිකව පාරිභෝගිකයාට හෝ මහජනතාවට සහනයක් ලැබෙන්නේ නැතිනම් ඒක තනිකරම මුළාවක්. ඒ නිසා මෙවර අයවැය පිළිබඳවත් ධනාත්මකව බලාපොරොත්තු තබාගෙන සිටියට දැන් රටේ ආර්ථික තත්ත්වයක් සමඟ බලනකොට අපට බලාපොරොත්තු වෙන්න බැහැ. සහනයක් ලැබෙයි කියලා. කොහොම උනත් අපි බලාපොරොත්තු වෙනවා. පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට නීති රීති තිබෙනවානේ. අන්න ඒ නීති රීති ටිකවත් ක්‍රියාත්මක කරන්න පුළුවන් අයවැයක් මෙවර ඉදිරිපත් වෙයි කියලා.   


ඒ වගේම අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කළහොත් ඒ අඩු කිරීම වචනයට පමණක් සීමා නොකොට ප්‍රායෝගිකව ජනතාවට දැනෙන ලෙස භාණ්ඩ මිල අඩුවෙයි කියලා ​අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ අයවැය කියූ අයුරින් රටේ මිනිසුන්ගේ කුසගින්න නිවෙන්නේ නැහැ. අයවැයේ තිබෙන කරුණු සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. මෙවර අයවැය ඉලක්කම්වලට සීමා නොවී ප්‍රායෝගිකව ජනතාවට දැනෙන ලෙස ඉදිරිපත් කළ යුතුයි. එහෙම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 


සුළු පරිමාණ හෝටල්වලට සහන ඕතෑ 

මෙවර අයවැයෙන් මහ පරිමාණ සුපිරි හෝටල් හිමියන්ට වඩා සුළු පරිමාණ හෝටල්, හෝ බේකරි හිමියන්ට මෙන්ම ආපනශාලාවලට ද සහනයක් ලබා දිය යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.   


මෙරටේ එදා සිට මේ දක්වා ඉදිරිපත් කරන ලද අය වැය තුළ මේ රටේ හෝටල් කර්මාන්තය ඒ කියන්නේ තරු පහේ හෝටල් නොව දෙකෝටියක් ජනතාවගේ උදේ, දහවල්, රාත්‍රී ආහාර වේලට අමතරව උදේ සිට මධ්‍යම රාත්‍රියට බොන තේ කෝප්පය දක්වා සේවාව ඉටුකරන මේ ර​ෙට් හෝටල් පද්ධතියට කිසිදු ආකාරයක ඇගයීමක් හෝ ඒ හෝටල් කර්මාන්තය නගා සිටුවීමට, නවීන යන්ත්‍රසූත්‍ර, තාක්ෂණය වගේ කිසිම දෙයක් පිළිබඳ අවධානය යොමු කරලා නැහැ. කිසිම රජයක් හෝ අයවැයක්.   


අය වැය ඉදිරිපත් කිරීමේදී ජනතාවට යම් යම් සහන ලබා දෙනවානේ. මේ සහන ලබා දෙන ඒවා මාසයක් යනකොට අය වැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඉබේම අමතක වෙලා යනවා. ඒ අය වැය සම්මත කරගැනීම සඳහා මහජනතාව දැනුවත් කරලා බඩු මිල අඩු කරනවා කියලා කියනවා. දැන් පසුගිය අය වැයේදීත් බඩුමිල අඩු කළා. ඊට පස්සේ මාසයක් ගියාට පස්සේ නැවත වැඩි කළා. එතකොට මොකටද මේ අයවැයක් ඉදිරිපත් කරන්නේ.

 සටහන - 
නිශාන්ත කුමාර බණ්ඩාර
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය