අයවැයෙන් දුන්නාට වඩා අමතර මුදල් නෑ


මහා භාණ්ඩාගාර ලේකම් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි  

(දයාසීලි ලියනගේ) 

අයවැයෙන් ලබා දී ඇති මුදල්වලට අමතරව වෙනත් මුදල් ලබාදීම ඉතා අසීරු නිසා ලබන වසරට දී ඇති මුදල් හොඳින් ප්‍රමුඛතා ගතකරමින් කළමනාකරණය කර ගන්නා ලෙස භාණ්ඩාගාර 

ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලුම අමාත්‍යාංශ ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයකින් උපදෙස් දී ඇත.  

කෝවිඩ් 19 ව්‍යසනය හමුවේ ඇති වී තිබෙන අවිනිශ්චිත බව හා වාර්ෂිකව සිදුවෙන ස්වාභාවික විපත් සඳහා වියදම් වෙන් කිරීමට සිදුවී ඇති නිසා අමතර මුදල් වෙන් කිරීම ඉතා අසීරු බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත.  


මේ තත්ත්වය මත වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් ලබා දී ඇති මුදල් සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම සියලු ආයතනවල ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම බව ඔහු තරයේ උපදෙස් දී අැත.  


අයවැය ප්‍රතිපාදන නොමැතිව යම් වියදමක් සිදුකරනු ලබන්නේ නම් ඒ සඳහා භාණ්ඩාගාරයේ වගකීමක් නොමැති බැවින් එවන් වියදම් සඳහා අදාළ නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතු බව ද සඳහන් කර ඇත.