අයවැයක් නෑ: අතුරු සම්මත ගිණුමක්


(අජන්ත කුමාර අගලකඩ)  

ලබන වසර සඳහා වන අයවැය මහ මැතිවරණයෙන් පසුව පත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.  


ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ වියදම් දැරීමට පසුගිය ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතර ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය දක්වා කාලය තුළ මුදල් වියදම් කිරීමට හැකිවන සේ තවත් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව දැන ගන්නට තිබේ.  


ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කරනු ඇති බවත් නව සැසිවාරය ආරම්භ 
කිරීමෙන් අනතුරුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පැවැසේ.  

පාර්ලිමේන්තුව ලබන මාර්තු මස 1 වැනිදායින් පසුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙන අතර ඒ අනුව මහ මැතිවරණය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මස මුලදී පැවැත්වීමට නියමිතය.  


ඒ අනුව ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ලබන වසරේ මැයි මාසයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.