අය-වැය විවාදය මගහැරියොත් මන්ත්‍රී වැටුප කපන යෝජනාවක් ?


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

අයවැය යෝජනාවලිය පිළිබඳ විවාදය පැවැත්වෙන නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා අතර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි නොවන මැති ඇමැතිවරුන්ගෙන් රුපියල් 
2500/-ක මුදලක් දිනකට ඔවුන්ගේ වැටුපෙන් කපා හරින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර ඇති බව වාර්තා වේ.  

 

මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් දිනකට රුපියල් 2500/-ක දීමනාවක් ගෙවනු ලබන බැවින් ඔවුන් නොපැමිණෙන දින සඳහා ද දිනකට රුපියල් 2500/- බැගින් මුදලක් කපා හරින ලෙසට ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලයට යෝජනා කර ඇත.  


මේ අතර නොවැම්බර් 08 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා අතර කාලය තුළ මැති ඇමැතිවරුන්ට විදේශගතවීම්වලින් වැළකී සිටීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.  
එම කාලය තුළ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට ද, සහභාගි විය යුතු බවත්, පාර්ලිමේන්තු සභා වාරවලට මැති ඇමැතිවරුන් අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බවටත් එම යෝජනාවේ ඇතුළත් වී ඇත. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.