අමාත්‍යාංශ වෙන් කිරීම විධිමත් නෑ: මෙහෙම වැඩ කරන්න බෑ


(දයාසීලි ලියනගේ)
රජයේ වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සිය අප්‍රසාදය රජයට ඉදිරිපත් කර ඇති බව “ඉරිදා ලංකාදීපයට” වාර්තාවේ. තාක්ෂණ, අධ්‍යාපන හා රැකියා කටයුතු පිළිබඳ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ලිපි ගණනාවකින් මේ බව දැනුම් දී ඇති බවද දැන ගන්නට ඇත.


පොදු වැඩ කටයුතු පිළිබඳව රජයට විධිමත් සැලැස්මක් හා ඉලක්කයක් නොවීම, සමාජය අර්බුදයට ලක්කරන සයිටම් වැනි ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රමාද කිරීම, අවිධිමත් ලෙස අමාත්‍යංශ වෙන් කිරීම, අමාත්‍යංශවලට අයත් විෂය වෙන් කිරීමේදී විධිමත් බවක් නොවීම, රටේ සංවර්ධනයක් නොවීම ආදී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් තව දුරටත් මේ තත්ත්වය යටතේ කටයුතු කිරීමේ තේරුමක් තිබේදැයි ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බවද දැන ගන්නට ඇත.


ප්‍රධාන පක්ෂ දෙක එක්වී පිහිටුවාගත් සම්මුතිවාදී රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය රැක ගැනීමට නම් පක්ෂ තුනම නිසි ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කළ යුතු බවද ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව පෙන්වාදී ඇත.


මේ සම්බන්ධයෙන් තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා කටයුතු පිළිබඳ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මේ තත්ත්වය පැහැදිලිකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත තමා ලිපි දෙක තුනක් යවා ඇති බවයි. ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු යළි මේ සම්බන්ධව ලිඛිතව දන්වා යැවීමට තීරණයකර ඇති බවයි. අමාත්‍යංශ වෙන් කිරීමේදී සංවර්ධන, ප්‍රතිපත්ති, මුදල්, සේවා ආදී වශයෙන් කිසියම් ප්‍රතිපත්තියක් මත සිදුවිය යුතු අතර, ඒවාට අදාළ විෂය වෙන් කිරීමේදී නිශ්චිත මූලධර්මයකට අනුව සිදුවිය යුතු වුවත්, අද ඇතැම් අමාත්‍යාංශ වෙන් කිරීමේදී එවැනි ක්‍රමවේදයක් නොවන බවද ඇමැතිවරයා කීය. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව යටතේ පත් කරන ලද රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුව මගින්ද අමාත්‍යංශවලට විෂය වෙන් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා කළ බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දැන් අමාත්‍යාංශ සඳහා විෂය වෙන් කිරීමේ කිසිදු තර්කානුකූල පදනමක් නොමැති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. මීට අමතරව අමාත්‍යාංශ පදනමින් ඉලක්ක ගත කිසිදු සැලැස්මක් ක්‍රියාත්මක නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. 


රජය පැහැදිලි ප්‍රතිපත්තියක ක්‍රියා නොකිරීම නිසා ජනතා විශ්වාසය බිඳ වැටෙමින් පවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.