අමාත්‍යංශ 18ක්: පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති කඩලා


පැෆරල් කියයි

(දයාසීලි ලියනගේ)  

ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ 18ක් හා පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති උල්ලංඝනය කර තිබෙන බව වාර්තා වේ.  


පත්වීම්, මාරුවීම්, උසස් කිරීම්, බඳවා ගැනීම්, රජයේ වාහන පාවිච්චි කිරීම ඇතුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තිබෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.  

ජනාධිපතිවරයා යටතේ පවත්නා ආයතන දෙකකද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි වාර්තා වී තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.  
මීට අමතරව පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් හා ආණ්ඩුකාරවරු සිව් දෙනෙක් මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට පැමිණිලි ලැබී ඇති බවද ඔහු කීය.  


මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.