අපේක්ෂක මනාප අංක නිකුත් කිරීම කල්යයි


නිවාඩු දිනවල නාමයෝජනා භාරගැනීම නීත්‍යානුකූලදැයි නීතිපතිගේ මතය විමසයි  

(අජන්ත කුමාර අගලකඩ)

ලබන මස 20 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක 4 වැනි සඳුදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට කලින් තීරණය කර තිබුණ ද එදිනද එම මනාප අංක නිකුත් නොකිරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.  

මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2 වැනිදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියයි.  


මැතිවරණ කොමිෂන් සභාව එම තීරණය ගැනීමට පෙර, මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග එදිනම සවස සාකච්ඡාවක් පැවැත්විය. ලබන මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ​ලේකම්වරුන් විවිධ අදහස් එහිදී ඉදිරිපත් කර ඇත.  


මේ අතර, ඉකුත් මාර්තු මස 19 වැනිදා නාමයෝජනා බාරගැනීමට නියමිතව තිබියදී රජය විසින් විශේෂ නිවාඩු තුනක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී සාකච්ඡාවට ලක්වී ඇත. එවැනි තත්ත්වයක් තුළ නාමයෝජනා බාරගැනීම නීත්‍යානුකූලද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයිද වාර්තාවේ.  


මේ අතර, මහ මැතිවරණය ලබන මස 20 වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග තවත් සාකච්ඡාවක් ලබන 12 වැනිදා පැවැත්වීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.