අපි තුන්වැනි රැල්ල ගැන කීවාම ගණන් ගත්තේ නෑ


මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

කොවිඩ් තුන්වැනි රැල්ලක් ඒමේ අවදානමක් ඇති බවට කල් තියා දැනුම් දුන්නද එයට අවධානය යොමු නොකිරීම නිසා යළිත් කොවිඩ් රෝගීන් බහුල වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.  

තම සංගමය කළ දැනුම් දීමට අනුව ක්‍රියා කළේ නම් එම තුන්වැනි රැල්ලේ අවදානම අඩුකිරීමට පියවර ගැනීමට ඉඩ තිබූ බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.  
පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකිරීමට කටයුතු කරන බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද එය වචනයට සීමා නොකොට ක්‍රියාවට නැංවිය යුතුයි.  


ප්‍රායෝගිකව එම පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමට ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බවත්, එවැනි පරීක්ෂණ සිදු කළ යුත්තේ වැඩි අවදානමක් ඇති ප්‍රදේශ සහ රෝගීන් බහුලව වාර්තා වෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් බව ඔහු සඳහන් කළේය. පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේ කොළඹින් පිටතට ගොස් නැවත සේවයට වාර්තා කළ සේවකයන් ඉලක්ක කර පරීක්ෂණ වැඩි කළ යුතුය.  


දැනට අසල්වැසි ඉන්දියාවේ රෝගය ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව පවතින අතර ශ්‍රී ලංකාව තුළ රෝගය යළි ව්‍යාප්තවීමට එහි බලපෑමක් ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකළ යුතුයි.  


ඒ අනුව අවුරුදු උත්සව සමයේ ජනතාව හැසිරුණු ආකාරය අනුව ඉදිරි සතිය බොහෝ තීරණාත්මක බව ඔහු පැවසීය.  


පසුගිය 14 හා 15 දිනවල රෝග ආසාදනය වූයේ නම් රෝග ලක්ෂණ පෙන්වීමට දින 14ක පමණ කාලයක් ගතවෙයි.  


ඒ නිසා ඉදිරි සතිය බොහෝ අවදානම් සතියක් ලෙස ක්‍රියා කිරීම ඉතා වැදගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.  


විශේෂයෙන් මැයි මාසයේ මුල් සතිය ඉතා අවදානම් සතියක් විය හැකි බැවින් දී ඇති සෞඛ්‍ය උපදෙස් අකුරටම ඉෂ්ට කරන ලෙස ඔහු මහජනතාවට දැනුම් දෙයි.