අපරාධවලට සම්බන්ධ අය එජාපයෙන් නෙරපිය යුතුයි


(නිශාන්ත කුමාර බණ්ඩාර)  
එක්සත් ජාතික පක්ෂය තුළ සිටින වැරැදි කරන අපරාධවලට සම්බන්ධ අය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පක්ෂයෙන් නෙරපා දැමිය යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය පවසයි.  

එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරමින් තම සන්ධානය කටයුතු කරන බවත් ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි නිසා තමන් වෙනමම මැතිවරණය සඳහා ඉදිරිපත්වූ බව එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.  


එවැනි පහත් වැඩවලට සම්බන්ධ වූවන් එම පක්ෂයේ දෙමළ අපෙක්ෂකයන් ලෙස නම්කර ඇති බවත් එවැනි පහත් ක්‍රියාවලට සම්බන්ධ වූ අයට දෙමළ ජනතාව නියෝජනය කිරීමට තමන් ඉඩ නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.  


සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා ඔවුන් නිහතමානි වැදගත් පුද්ගලයන් විය යුතුයි.  


දැන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙක් චෝදනා කරනවා අපි කොළඹට වෙනමම තරග කරන නිසා මනෝ ගනේෂන්ව අතුගාලා දැමිය යුතුයි කියලා.  


නමුත් දැන් අතුගෑවිලා සිටින්නේ එම හිටපු අමාත්‍යවරයාම බවයි මනෝ ගනේෂන් මහතා පවසන්නේ.  


එතුමාගේ අභියෝගය සතුටින් භාර ගන්නා බවත් තමන් පොළවේ පය ගසා ජීවත් වෙන අයකු බවත් එවැනි අයට අපි පාඩමක් උගන්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.