අපද්‍රව්‍ය ටොන් 15ක් ගල්කිස්ස වෙරළෙන් ඉවත් කළා


වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

 ගල්කිස්ස මුහුදු වෙරළ තීරයට ගොඩගසා තිබූ අපද්‍රව්‍ය ටොන් 15ක පමණ ප්‍රමාණයක් ඉවත්කර බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියට ප්‍රතිචක්‍රීයකරණය සඳහා බාර දුන් බවත් මෙම අපද්‍රව්‍ය තොගයෙන් 99%ක්ම ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය බවත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.   

මේ වාරකන් කාලය හෙයින් කාලයක් තිස්සේ මුහුදු පතුලේ තිබූ අපද්‍රව්‍යයද මුහුදු වෙරළට ගොඩගසන්නට ඇති බවට අනුමාන කරන බවත් මේ වසරේ අප්‍රේල් මාසයේ නිෂ්පාදනය කරන ලද ප්ලාස්ටික් බෝතල් පවා මේ අපද්‍රව්‍ය තොගය අතර තිබූ බවත් ඒ මහතා පැවැසීය. වෙරළට ගොඩගසා තිබූ මෙම අපද්‍රව්‍ය තොගය නොගැඹුරු මුහුදට දැමූ ඒවා හෝ ඇළ මාර්ගයකට ගෙනවිත් දැමූ පසු මුහුදට ගසාගෙන එන්නට හෝ ඇති බවට විශ්වාස කරන බවත් ඒ මහතා පැවැසීය.  


ගල්කිස්ස මුහුදු වෙරළ තීරයට අපද්‍රව්‍ය තොගයක් ගොඩගැසීම සම්බන්ධයෙන් මම ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. නමුත් මේවා මුහුදට ගෙනවිත් දැමුවේ නම් එසේ ගෙනවිත් දැමුවේ කවුරුන්ද කියන එක තවම හෙළිවෙලා නැහැ යැයි ද වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.   
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා ප්‍රධාන විශේෂඥයන් කණ්ඩායමක් ඉකුත් 09 වැනිදා ගල්කිස්ස වෙරළ තීරය නිරීක්ෂණය කිරීමට එහි පැමිණියහ.  


මහාචාර්ය නලින් රත්නායක මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ කීය.  
“රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල තිබෙන කුණු දියවැල් ඔස්සේ ගල්කිස්ස වෙරළ තීරයට ගසාගෙන එන්නට ඇති බවට අප නිගමනය කළා. නිරිත දිග මෝසම් සුළං මේ දිනවල පවතිනවා. ඒ නිසා මේ මෝසම් සුළං සමග වෙරළට සමාන්තරව පවතින දියවැල් එන්නේ දකුණේ සිට උතුරු දිසාවටයි.  


මේ කුණු යම් අයෙක් වතුරට දැම්මාද කියන එක පැහැදිලිව කියන්න අපහසු වුනත් ගංගා ඇළදොළවලට දමන කුණු අවසානයේ යන්නේ මුහුදට. එහිදී ගැඹුරු මුහුදට යනවිට වැඩිය වෙරළට ගසාගෙන ඒම සිදුවෙනවා.  


ඊළඟ ප්‍රශ්නය තමා වැලි පෝෂණ කලාපය තුළ තවම නිසි සමතුලිත පරිසරයක් හා ස්වභාවික පරිසරයක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා දියවැල් ඒ රැළිවලට ගැළපෙන ආකාරයට තවම හැදිලා නැහැ. ඒකට ටික කාලයක් ගතවෙනවා. තව මෝසම් එකක් දෙකක් ඇතිවුණාට පස්සෙ එය ස්වභාවික පරිසරයක් බවට පත්වෙනවා. බෑවුම් නිසියාකාරව සකස් වුණාට පස්සෙ තමා එන ඕනෑම ද්‍රව්‍යයක් ඉවත්වෙන එක හෝ පාලනය වෙන ක්‍රියාවලිය සිදුවන්නේ යැයිද මහාචාර්යවරයා පැවැසීය.