අප කළ වරද ඉස්ලාම් අන්තවාදය ගැන හෙළිදරව් කිරීම ද?


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥ‌ානසාර හිමි

මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙන පාස්කු දින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ඇතුළු කරුණු කීපයක් පිළිබඳ අදහස් දැක්වීමට එක්වන්නේ ගලගොඩඅත්තේ ඥ‌ානසාර හිමිය. 


 

  • බොදුබල සේනාව ගැන නගන නිර්දේශ අතහැරලා අනික් නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලයි අපි ඉල්ලන්නේ.
  • වැදගත් නිර්දේශ අතරේ නොවැදගත් අද‌ාළ නැති ඒවත් තියෙනවා. ඒවා එකතු කළේ කාගේ වුවමනාවට ද? 
  • මේ කොමිෂන් වාර්තාවේ ඇතැම් නිර්දේශ නරකම නෑ. 

 

රටම බලාගෙන ඉඳපු පාස්කු දින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ආවා. කියෙව්ව ද ඒක. 


ඔව්. අපි මේක කියෙව්වා. පළමුවෙන්ම අපි සම්බන්ධයෙන් කරල තියෙන නිර්දේශ පිළිකුලෙන් යුක්තව ප්‍රතික්ෂේප කරනවා. පාස්කු ප්‍රහාරය දන්වා ඒ ඉස්ලාමීය අන්තවාදී ගොඩනැගීම පිළිබඳ සියලු කරුණු අපි පෙන්නලා දුන්නා. පහුගිය වසර ගණනාව තිස්සේ කෙරුණු ඒ අන්තවාදී ගොඩනැගීම ගැන අපි ඉතා හොඳ නිරීක්ෂණයක ඉඳල තමයි ඒ කරුණු සියල්ල අනාවරණය කළේ. 


රටේ වගකිවයුතු සියලු පාර්ශ්වවලට මේ දේ පෙන්වා දීම තමයි අපි කෙරුවෙ. මේක ගැන වගකිවයුතු පාර්ශ්ව තම තමන්ගේ වගකීම් කොටස ඉෂ්ට නොකිරීම ඇතුළෙ තමයි මේ තත්ත්වය ඔඩුදිව්වෙ. දවසක මෙයින් විය හැකි බරපතළ ව්‍යවසනයක් ගැන ඒ කවුරුවත් කල්පනා කළේ නෑ. අපි සංවිධානයක් විදිහට ඉස්ලාම් අන්තවාදය ගැන විතරක් නෙවෙයි ක්‍රිස්තියානි මූලධර්මවාදය ගැනත් කතා කළා. ඉස්ලාම් අන්තවාදය පිළිබඳ බොහෝ කරුණු රටට හෙළිදරව් කිරීම ද අපි කරපු වරද? දැන් අපිට නඩු පවරන්න කියල මේ වාර්තාවෙත් තියෙනවා. අපේ සංවිධානය තහනම් කරන්න කියනවා. මේ ගැන වගකිවයුත්තො ඇස් කන් පියාගෙන ඉද්දී මේ ගැන රටට හෙළිදරව් කරපු එක තමයි දැන් වැරැද්ද. මේක තමයි දැන් තියෙන ප්‍රශ්නය. මේක මුළු ලෝකෙම ගිල ගනිමින් තියෙන අන්තවාදී කුමන්ත්‍රණයක එක් අවස්ථාවක්. දැන් එක්කෙනෙකුට දෙන්නෙකුට වරද පටවල හරියන්නේ නෑ. මේක සියුම්ව ඉන්වෙස්ටිගේට් කරන්න ඕනැ. ගැඹුරු සිදුවීම් මාලාවක්. 


මේකෙන් ඔබවහන්සේලාගේ පැත්තට වරද පැටවෙන්නේ කොහොමද? මේ පිටුපස සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියල ඔබ කියනවා. 


 මේ කොමිෂන් වාර්තාවෙ ඇතැම් නිර්දේශ නරකම නෑ. ඉස්ලාම් අන්තවාදය පෝෂණය වීම ගැනත් අදහසක් මේකෙ තියෙනවා. ඒක හරි. ඒත් අපිට කරල තියෙන චෝදනාව තමයි බොදුබල සේනා සංවිධානය සමස්ත මුස්ලිම් ප්‍රජාවටම චෝදනා කළා කියන එක. ඇත්ත වශයෙන්ම අපි කෙරුවෙ දිනෙන් දින වර්ධනය වෙන ඉස්ලාමික අන්තවාදය සහ ඒකෙ අනිටු විපාක වගකිවයුත්තන්ට පෙන්නලා දීම. ඒ අය ඒක ඇහුවෙ නෑ. අපි වගකිවයුතු මුස්ලිම් නායකයින්ටත් කිව්වා. ඒ අයත් මේ ගැන අවධානය යොමු කළේ නෑ. අපි ස්ව​දේශික සම්ප්‍රද‌ායික මුස්ලිම් ප්‍රජාවට චෝදනා කළේ නෑ. අපි කිව්වා ඒ අයටත් මේ ගැන වගකීමක් තියෙනවා කියලා. තමන්ගේ සමාජයෙන් පැනනගින ගින්න නිවා දමන්න කටයුතු කරන්න කියල ඒ අයගෙන් අපි ඉල්ලුවා. අපි කිව්වෙ ඒක. ඒත් අවාසනාවට ඒක ගොඩක් අයට ඇහිලා නෑ. ඒ වෙනුවට අපි නිසා මේ මුස්ලිම් තරුණයො මෙතෙන්ට තල්ලුවෙලා ගියා කියලා අභූත චෝදනාවක් අපිට කරනවා. අපි කියන්නෙ මේ කොමිෂන් වාර්තාවෙ තියෙන නිර්දේශ අතරින් බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් දක්වපු නිර්දේශ අතඇරල අනිත් නිර්දේශ දැන් ක්‍රියාත්මක කරන්න කියලා. අන්තවාදී ආගමික සංවිධාන ගොන්නටම බොදුබල සේනා සංවිධානයත් ද‌ාල නිර්දේශ ඉදිරිපත් කරල තියෙන එක ඉතාම අසාධාරණ වැඩක්. අපි ගල් කැටයක්වත් අතට අරගෙන කාටවත් හිංසාවක් කරපු කණ්ඩායමක් නෙවෙයි. හැබැයි අපි තදින් අපේ මතය ප්‍රකාශ කළා. ඒ කාලේ වගකිවයුත්තන්ගේ අවධානය ලබා ගැනීමට මිසක් සමාජයක් අපහසුතාවයට ලක් කරන්න නෙවෙයි. 
දැන් සමාජයේ අදහසක් මතුවෙලා තියෙනවා මේ වාර්තාවෙ නිර්දේශ සකස් කිරීමේදී යම් යම් දේශපාලකයො මැදිහත් වුණාදෝ කියලා. ඒක දේශපාලන පක්ෂ කණ්ඩායම් තුළම ඇතිවෙලා තියෙන එකක්. අපිටත් ඒ ගැන සැකෙන් බලන්න සිද්ධවෙලා තියෙනවා. 


ඔබ වහන්කිසේ කියල තිබුණා මේ පිටුපස ප්‍රබල දේශපාලන චරිතයක් ඉන්නවා කියලා. කවුද ඒ? 


එහෙම මතයක් සමාජයේ විවිධ දේශපාලන කණ්ඩායම් තුළින් පැනනගිනවා. මේ අවසන් වාර්තාව සකස් කිරීමේදී තමන්ට අනාගතයේදී දේශපාලනිකව තර්ජනයක් වේ යැයි හිතෙන පිරිස් මර්දනය කිරීම සඳහා යම් ​දේශපාලකයෙක් හෝ කීප දෙනෙකුගේ මැදිහත් වීමක් සිද්ධ වුණා ද කියන එක ගැන සැකයක් ඇතිවෙලා තියෙනවා. අපිට ඒ ගැනත් හිතන්න සිද්ධවෙනවා. මේ කොමිසම පිහිටුවීමේදී කිව්වෙ මේ ගැන ප්‍රාමාණික පරීක්ෂණයක් කරනවා කියලනේ. හැබැයි දැන් ඒ වෙනුවට මොකක්ද වෙලා තියෙන්නේ? කවුරුවත් කිව්වද මේකෙන් බොදුබල සේනා සංවිධානය ගැන හොයන්න කියලා, නෑනේ. එහෙම නම් කාදිනල්තුමන් මේකට වගකියන්න ඕන. මල්වතු අස්ගිරි නායක හාමුදුරුවොත් මේකට වගකියන්න ඕනැ. පහුගිය ආණ්ඩුව වගේම සමාජයටම වගකියන්න ඕනෑ. මොකද එක රැයකින් නෙවෙයි මේ අන්තවාදය පෝෂණය වුණේ. මේකට සමස්ත සමාජයම වගකියන්න ඕනෑ. කට්ටියක් සුදනො වෙලා කීප දෙනෙකුගේ කරේ ගහන්න හැදුවට වැඩක් නෑ මේක. වැරදි කෙරුවෙ කවුරුවත් ඇඟිල්ල දික්වෙන්නෙ කාටවත්. අලුත්ගමදී ගැහුවෙ අපිට. මුළු ලෝකෙම චෝදනා කෙරුවෙ බෞද්ධයින්ට. හැම වෙලාවෙම මුස්ලිම් සමාජයෙන් එල්ලවුණු ගල්පහර හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. ඒකෙදි අද‌ාළ පුද්ගලයින්ට දඬුවම් දෙන්න බැරිවීම ඇතුළෙ ඒවට දේශපාලන මැදිහත්වීම ඇතුළෙ ඇත්ත යට ගියා. බෞද්ධයා ලෝකය හමුවෙ හැමද‌ාම අප්‍රසාදයට පත්වුණා. 


ඔබ වහන්සේලාට තර්ජනයක් වෙලා තියෙන ඔබවහන්සේලාගේ සටන අඩපණ කරන්න මානබලන දේශපාලකයා කවුරු වෙන්න පුළුවන් ද? 


කවුරුත් අනුමාන කරන දේශපාලකයෙක් දෙන්නෙක් හෝ ඒ අය වටේ ඉඳගෙන හැන්දෑවට ගලද‌ාරි එකේ හරි ෂැන්ග්‍රිලා එකේ හරි විස්කි බෝතල් හිස් කරන්න සෙට්වෙන උන්දලගෙ උසිගැන්වීමක් උඩ මේවා සිද්ධවෙන්න බැරි නෑ කියන සැකය අපිට තියෙනවා. මේ අය ඔය තැන්වල අරගොල්ලන්ට මෙහෙම වැඩක් දෙමු කිය කිය ඔපීනියන් දෙනව ඇතිනේ. බටහිර ගැති, ජාතික ව්‍යාපාරය මොකක්ද? දේශපාලන ව්‍යාපාරය මොකක්ද කියලා තේරුම් කරගන්න බැරි තකතීරු තක්කඩි ඔය ලොකු චරිත වටේ ඉන්නවනේ ඕනැ තරම්. සිංහල බෞද්ධයෝ එකතුවෙලා මේ දේශපාලකයෝ ඔසවා තැබුවත් අවශ්‍ය තීන්දු තීරණ ගන්න තැන්වල ඉන්නෙ මේ අයනේ. කොහොම වුණත් පුද්ගලයෙක් ඉලක්ක කරනවටත් වඩා මෙතනදි නොවිය යුත්තක් වෙලා තියෙන බව විතරක් අපි පැහැදිලිව කියනවා. වැදගත් නිර්දේශ අතරේ නොවැදගත් අද‌ාළ නැති ඒවත් තියෙනවා. ඒවා එකතු වුණේ කාගෙ වුවමනාවට ද කියල හිතන්න වෙනවා. 


මේ වාර්තාවෙ අවසන් නිර්දේශ සකස් කිරීමේදී ඒවා වෙනස් කරන්න කවුරු හරි මැදහත් වුණා කියල ද හිතන්නේ? 


ඒක අනුමානයක් විතරක්. අපිට යම් යම් දේ ගැන සැක කරන්න පුළුවන්. සැක පහළ වෙන්න පුළුවන් පසුබිමක් සැකසිලා තියෙද්දි එහෙම වීම ස්වභාවිකයි. ඒ සැකය ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් මෙතන තියෙන තත්ත්වය උඩ මොකක් හරි සැකකටයුතු දෙයක් වෙලා දෝ කියල හිතෙනවා. මොකද ගින්නක් නැතුව දුමක් නගින්න විදිහක් නෑනේ. මේ ගැන අපට වඩා වෙනත් දේශපාලන කණ්ඩායම් මේ සැකය පළ කරනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනිත් දේශපාලන කණ්ඩායමක් මේ ගැන චෝදනා ගොනු කරනවා යම් දේශපාලන බලපෑමක් වුණා කියලා. 


ඔබවහන්සේ කාදිනල්තුමා ගැනත් යම් විවේචනයක් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා. 


 කාදිනල්තුමාට අපේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ ගැන කිසි තර්කයක් නෑ. හැබැයි කාදිනල්තුමා දැන් මේ දරණ ප්‍රයන්තය, මේ දැන් කරන මැදිහත්වීම් පාස්කු ප්‍රහාරයට කලින් කළා නම් මේ තරම් අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවෙන්න තිබුණා. ඒකයි මගේ තර්කය. අපි 2009, 2010 විතර ඉඳලා කිව්වා බොහොම තීව්‍ර ලෙස මෙවැනි තත්ත්වයක් අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් කියලා. ඒක කියද්දී යම් පමණකට අපේ මානසික සහ වාචික සංවරය බිඳෙන්න ඇති. අනාගතේ ඇතිවිය හැකි ව්‍යසනයක් ගැන අපි එද‌ා කිව්වෙ හිතලු හැටියට නෙවෙයි. අපි හොයාගත්තු තොරතුරු මත තමයි අපි මේ ගැන කිව්වේ. ඒක කිව්වෙ වෙනත් ජන සමාජයක් අපහසුතාවට පත්කරන්න නෙවෙයි. අපිට මේ ගැන හොඳ කියවීමක් තිබුණා. අපි ආවට ගියාට කියපු කතා නෙවෙයි ඒවා. සාක්ෂි සාධක අපේ අතේ තියාගෙන අපි මේවා කිව්වේ. 2013 අග වෙද්දී අපි සහරාන්ල ගැන කිව්වා. ඔවුන්ගේ ක්‍රියකලාපය ගැනත් අපි හෙළිදරව් කළා. මේ සඳහා වහාම පියවර ගන්න කියල මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. එද‌ා අපි ඒ කියද්දී යම් පමණකට කාදිනල්තුමාලත් ඒ ගැන අවධානය යොමු කරල අවශ්‍ය පියවර ගත්ත නම් මේ තරම් ඛේදවාචයක් වෙන්නෙ නෑ. මේක එක දවසින් වෙච්ච දෙයක් නෙවෙයි. සිදුවීමක් කළමනාකරණය කරනවා වගේ සරල දෙයක් නෙවෙයි මේ සමස්ත ප්‍රශ්නය කළමනාකරණය කරගැනීම. ඒක හරියට නොකිරීම තමයි මේවට මුල. අපි මේ ගැන කියද්දිත් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව කවුරුත් එකතුවෙලා අපිටම තඩි බෑවා. මේ උන්මත්තක අන්තවාදය ගැන සාකච්ඡා කරන්න සියලු

පාර්ශ්ව එකට එකතු වුණේ නෑ. ඒ නොසලකාහැරීමේ වන්දිය ගෙවන්න වුණා. 


කාදිනල්තුමා එක්ක අපිට කිසි ආරෝවක් නෑ. දැන්වත් කරන්න ඕන මිනිස්සු පාරට බස්සල කෑ ගහන එක නෙවෙයි. මේ ප්‍රශ්නය හරියට අවබෝධ කරගෙන කියවීමක් ඇතුව විසඳීමට මැදිහත් වෙන්නයි ඕනැ. මේක ගැන අවබෝධයක් නැතුව මේක අතට අරගෙන මැදිහත් වෙන අය වෙනුවට ප්‍රාමාණිකයින්ට මේක විමර්ශනය කරන්න දෙන්න ඕන. 


මේ වාර්තාවෙන් ඔබ වහන්සේලාට එරෙහිව තියෙන නිර්දේශවලට විරුද්ධව පියවර ගන්නව ද දැන්? 


 අපි මේකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තුවක් නෑ. මොනවටද අපි එහෙම කරන්නේ? අපි ජනාධිපතිට කියනවා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන අතරේ අනිත් වැඩකට නැති නිර්දේශ කුණු කූඩෙට දමන්න කියලා. එහෙම නැතුව අපි මොකටද සල්ලි වියදම් කරගෙන නඩුහබ කියන්නේ මේවට. කොමිෂන් වාර්තාවෙ වැරදි නිවැරදි කරලා නිවැරදි නිර්දේශ ක්‍රියාත්මක නොකළොත් තවත් අවුලකට යනවා මේක. මේ හරහා ලෝකය හමුවේ බෞද්ධයෝ අපහසුතාවට පත්වෙන්න පුළුවන්. 


මේ හරහා බොදුබල සේනා සංවිධානයේ ඉරණම මොකක් වෙයිද? 


 බොදුබල සේනා ක්‍රියාකාරිත්වය අඩපණ වෙන්න විදිහක් නෑ. ඒක හැමද‌ාම ක්‍රියාත්මකයි. බොදුබල සේනාව කියන්නේ භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා පිරිස. ඒක අඩපණ වෙන්නෙ කොහොමද? බොදුබල සේනා සංවිධානය කියන්නේ මතයක්. මතයක් කොහොමද තහනම් කරන්නේ? අපි වෙනදටත් වඩා ජව සම්පන්නව මේ ප්‍රශ්නවලට මුහුණ දෙමින් ශක්තිමත්ව ඉදිරියට යනවා.

 

පිළිසඳර 
ප්‍රියන්ත කොඩිප්පිලි