අනවසර හෝටල් කැඩීම නැවැත් වූ ඉහළ දේශපාලක අණ


 

තම ජීවනෝපාය සඳහා සාමාන්‍ය පුද්ගලයෙකු පාර අයිනේ කෝටු හතරක් සිටුවා තැඹිලි විකුණන්න ගියත් එය අනවසර ඉදිකිරීමක් බව පවසා ඔහු ඉවත් කිරීමට වගකිවයුතු රජයේ නිලධාරිහු කටයුතු කරති. මුහුදු වෙරළ අයිනේ පුද්ගලික අවශ්‍යතාවක් සඳහා මුහුදු වැලි ගෝනියක් ගොඩදැමුවත් කණුවක් සිටවුවත් කුදලාගෙන ගොස් පොලිස් කූඩුවට දමා නඩු ද පවරයි. සාමාන්‍ය පුරවැසියන්ට බලපාන එම නීතිය ධනය හා බලය ඇති පිරිසකට බල නොපාන බව පසුගියදා මාතර, මිරිස්ස ප්‍රදේශයේ දී සිදු වූ සිද්ධියකින් අනාවරණය විය.  


විශේෂයෙන්ම මිරිස්ස හා මිදිගම දී විදේශීය සංචාරකයින්ට සිදු වූ හිරිහැර කිරීමේ සිද්ධීන් ජාත්‍යන්තරයේ අවධානයට යොමුවීමත් සමඟ ඊට හේතු වූ කරුණු කාරණා ගැනද සොයා බලන්නට විය. ඒ සඳහා කමිටු ද පත් කෙරිණි. මිරිස්සේ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාමට අනවසර ඉදිකිරීම් ද බාධාවක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබුණි.  


රජයට ලක්ෂ ගණනින් බදු මුදල් ගෙවා කොටසක් නීත්‍යානුකූලව සංචාරක ව්‍යාපාරයේ නිරත වෙද්දී තවත් පිරිසක් ඒ කිසිවක් නොමැතිව බලපුළුවන්කාර කම මත සංචාරකයින්ට සේවා සපයන ස්ථාන පවත්වාගෙන ගොස් තිබුණි. කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් නොමැතිව එම ස්ථානවලදී බීච් පාටි පැවැත්වූයේ පෞද්ගලික සම්බන්ධතා මත රජයේ නිලධාරින්ට යම් යම් පරිත්‍යාග සිදු කරමිනි. එම නිසා ඔවුන්ට අනවසර ඉදිකිරීම්වල වුවද පහසුවෙන් තම කටයුතු සිදු කර ගෙන යාමට අවසරය හිමි වී තිබුණි.  


ඇතැම් විට නීතිය ක්‍රියාත්මක වූ බව පෙන්වීමට උසාවියේ නඩුවක් පවරා දඩයක් ගැහුවද ඔවුන් එම අනවසර ඉදිකිරීම ඉවත් නොකර තවදුරටත් එය පවත්වාගෙන ගියේය. මේ නිසා විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාවට හා මිරිස්ස මුහුදු තීරයේ සුන්දරත්වයට බාධාවක් වූ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට තීරණය විය.  


පහළ මට්ටමින් ඉදිරිපත් වූ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සම්මත වූයේ රටේ වගකිවයුතු අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් කොළඹ දී කැඳවූ සාකච්ඡාවක දී ය. ඊට සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර, වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.  

 


එහිදී තීරණය වූයේ අනවසර ඉදිකිරීම් ලෙස හඳුනා ගත් මිරිස්සේ හෝටල් 18 ක් කඩා ඉවත් කිරීමටයි. මැයි 01 වැනිදා එම කටයුත්ත සිදු කිරීමට පෙර ඒවා ඉවත් කර ගැනීමට අදාළ හෝටල් හිමියන් වෙත සහන කාලයක් ද ලබා දුන්නේය. එසේ ඉවත් නොකරන ඉදිකිරීම් මැයි 01 වැනි දින කඩා ඉවත් කරන බවට ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා කීවේය.  


සාමාන්‍යයෙන් මිරිස්ස මුහුදු වෙරළ තීරයේ මීටර් 35 ක කලාපය අධිසංවේදී වෙරළ තීරයකි. එහි පළමු මීටර් 10 තුළ මොනයම් හෝ ඉදිකිරීමක් සිදු කළ නොහැකි අතර අනෙක් මීටර් 25 තුළ ඉදිකරන්නේ නම් ආයතන 13ක නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් අනුමැතිය ලබා ගත යුතුය. රැකියා අවශ්‍යතාව හා රටේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම කමිටුව ඒ සඳහා අවසරය ලබාදීම හෝ නොදීම ගැන තීරණ ගනු ඇත.  


කෙසේ වෙතත් ඒ සියලු නීති රීතී උල්ලංඝනය කරමින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු සූදානම් වෙමින් තිබියදී ඒවායෙහි හිමිකරුවන් දේශපාලඥයින් පසුපස යමින් එම තීරණය වළක්වා ගැනීමට උත්සාහ දැරීය. මිරිස්සේ පැවැත්වෙන බොහෝ බීච් පාටි සඳහා රජයේ වගකිවයුතු දේශපාලඥයින් කිහිප පොලක් සහභාගී වන බව මේ ​ෙවන විට ප්‍රසිද්ධ රහසකි.  


කොළඹ නයිට් ක්ලබ්වලට ගොස් චාටර්​ෙවනවාට වඩා එම දේශපාලනඥයින් අධිවේගී මාර්ගය ඔස්සේ වැලිගම මිරිස්සට පැමිණ කා බී සුද්දියන් සමඟ විනෝද වී ආපසු යන්නේ හොර රහසේ ය. මේ නිසා මිරිස්සේ ඇතැම් හෝටල් හිමියන්ට එම දේශපාලඥයින්ට තම ගැටලු පහසුවෙන් ඉදිරිපත් කර විසඳුම් ලබාගත හැකිය. ඒ ආකාරයේ ක්‍රමවේදයක් ඔවුන් මෙවරද අනුගමනය කළේය.  


දේශපාලනඥයකුගේ පුත්‍රයෙකු ද මිරිස්සේ පැවැත්වෙන බීච් පාටි සඳහා පැමිණෙන බව කියති. එම නිසා ඔහුව ද සම්බන්ධ කර ගෙන තිබූ බව පැවසේ.  


1988 අංක 64 සහ 2011 අංක 49 දරන පනත මගින් සංශෝධිත අංක 57 වෙරළ සංරක්ෂණ සහ වෙළෙඳ සම්පත් කළමනාකරණ පනතේ 31 (3) වගන්තිය ප්‍රකාරව අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම සඳහා බලතල වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී තිබේ. එම නිසා මිරිස්සේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට අලුතින් නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය නොවේ. එම බලතල හොඳටම ප්‍රමාණවත් ය.  


එහෙත් ඇතැම් වෙරළ සංරක්ෂණ නිලධාරීන් අනවසර හෝටල් හිමියන් සමඟ පවතින සම්බන්ධතා මත එම කටයුත්තට එතරම් ක්‍රියාශීලී දායකත්වයක් නොදැක්වීය. එහෙත් මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා ඇතුළු පොලීසිය ඊට එක පයින් සහයෝගය ලබා දී තිබුණේ මුලසිටම පොලීසියට විවිධ චෝදනා එල්ල වී තිබූ නිසා ය.  


විදේශිකයින්ට පහරදීමේ සිද්ධියේ වගකීම පොලීසිය භාර ගත යුතු බවට ද ඇතැම් ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ කීවේය. එහෙත් සුරාබදු බලපත්‍ර නොමැති හෝටලයක් වැටලූ විට ද එම දේශපාලනඥයින් පොලීසියට කතා කොට සහනය ඉල්ලා සිටීම ද විශේෂත්වයකි. එම නිසා පොලීසිය පසුගිය දිනවල දී දිගින් දිගටම මිරිස්ස අවට හෝටල් පරික්ෂා කර නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගත්තේ ය.  


වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නේ නම් පොලිස් රාජකාරී සඳහා එය තවත් පහසුවක් විය. එම නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මාරපන මහතා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා අමුතුම සැලැස්මක් සකස් කළේ ය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්. ප්‍රනාන්දු හා නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ ආශිර්වාදය ද ඒ සඳහා හිමි විය.  


ප්‍රාදේශීය දේශපාලනඥයින් හා අදාළ හෝටල් හිමියන්ගෙන් විරෝධතා එල්ල වන බවට පොලිස් බුද්ධි නිලධාරීන් තොරතුරු අනාවරණය කර ගෙන තිබූ නිසා අධිකරණ නියෝගය ද ලබාගත්තේ ය. අදාළ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන තෙක් විරෝධතා දැක්වීම හා සාමය කඩවන ආකාරයට හැසිරීම තහනම් කරමින් එම අධිකරණ නියෝග ලබාගෙන තිබුණි. ඉකුත් 30 වැනි දින වන විට මාතර දිස්ත්‍රික්කයෙන් පොලිස් නිලධාරීන් සිය දෙනෙකු මිරිස්සට කැඳවීම සඳහා නියෝග ද යවා තිබුණි. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ද කොටවිල පොලීසිය වෙත කැඳවා ගත්තේ ය.  


පසු දින මිරිස්සේ ක්‍රියාන්විතය සඳහා ජල බවුසර් සහිත ප්‍රහාරක රථ මෙන්ම කඳුළු ගෑස් ද ගෙනවිත් සූදානම් කර තැබුවේ ය. කැරලි මර්දන අංශ ද සීරුවෙන් තබා තිබුණි.  


මේ අතරතුර දී ඇතැම් රාජ්‍ය නිලධාරීන් පොලීසියේ උසස් නිලධාරීන්ට කතා කර කියා තිබුණේ හෙට සිදු කරන ක්‍රියාව අපහසු දෙයක් බවත් ඔවුන්ගේ බැකෝ යන්ත්‍ර ගිනි තැබීමේ සූදානමක් පවතින බවයි. එහෙත් පොලීසිය දැනුම් දී තිබුණේ ඒ කිසිදු දෙයකට බය නොවන ලෙසත් අවශ්‍ය සම්පූර්ණ පොලිස් ආරක්ෂාව සපයන බවත් ය.  


කෙසේ වෙතත් වේලාව ක්‍රමයෙන් ගෙවී යද්දී එක්වරම පොලිස් විශේෂ රාජකාරී අවලංගු කර තිබුණි. ඊට අමතරව කොටවිල පොලීසිය වෙත කැඳවා තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ද හීන් සීරුවේ පිටත් කර යවා තිබුණේ ය. ඊට හරි හේතුව කිසිවකුත් කියන්නේ නැත. ඉහළින් ආ දේශපාලන නියෝගයක් මත එය සිදු වූ බව නම් පැහැදිලි ය.  


සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග හා තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතු බවට දැඩි තීරණයක සිටියත් ආණ්ඩුවේම තවත් කිහිප දෙනෙකු ඊට අකමැත්තෙන් සිටි බව කියති. ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලනඥයින් බව ද දැන ගන්නට ඇත.  


ඒ අතර සිටින දේශපාලනඥයෙකු හා තවත් ප්‍රබලයෙකුගේ පුත්‍රයෙකු මිරිස්සේ හෝටල්වල පැවැත්වෙන බීච් පාටි සඳහා සහභාගී ​ෙවන බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. එම සම්බන්ධතා මත නීතිය ක්‍රියාත්මකවීම නතර වූ බව කියති.  


මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් විමසූ විට කියා සිටියේ අදාළ හෝටල් හිමියන් කිහිප දෙනෙකු දැනටමත් අනවසර ඉදිකිරීම් ඉවත් කර ගැනීමට ක්‍රියාකර ඇති නිසා කඩා ඉවත් කිරීමේ වැඩසටහන තාවකාලිකව කල් දැමූ බවයි.  


දේශපාලන බලපෑම් නිසා එය නතර කළේදැයි ඔහුගෙන් වැඩිදුරටත් විමසූ විට එසේ නොවන බව කීය.  


කෙසේ වෙතත් ඒ මහතා එසේ පැවසුවද සත්‍ය කුමක්දැයි මේ වන විට හෙලි වී ඇත. යහ පාලනය අද බෝඩ් ලෑල්ලකට සීමා වී ඇති නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ද රටේ ඉහළම දේශපාලනඥයකුගෙන් බලපෑම් එල්ල වී තිබේ. විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීමට අදිසි දේශපාලන හස්තයන් නිසා නොහැකි වී ඇත. යළිත් සංචාරකයින්ට හිරිහැරයක් සිදු වූ විට මේ ගැන කතා කරන්නට පටන් ගනීවි. නමුත් ඉන් එහාට දෙයක් සිදු නොවනු ඇත. අනවසර ඉදිකිරීම් තිබුණාටත් වඩා තවත් ඉදි​ෙවනු ඇත. දේශපාලනඥයින්ට පිංසිදු ​ෙවන්නට ඒවාට එරෙහිව කිසිවකුත් හඬ නැගීමට ඉදිරිපත් නොවනු ඇත.

ඡායාරූප හා සටහන
ක්‍රිෂාන් ජීවක ජයරුක්