අගමැති මෝදි අද කොළඹ


(දයාසීලි ලියනගේ)   

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැය කිහිපයක සංචාරයක් සඳහා අද (9) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.   


මෝදි මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍යධුරයට දෙවැනි වරටත් පත්වී දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද විශේෂ ආරාධනය පිළිගනිමින් ඔහු මෙම සංචාරයේ යෙදෙයි.  

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර නිල හමුව පෙ.ව. 11.30ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලබයි. නායකයන් දෙදෙනා අතර සුහද හමුවීමක් පමණක් පැවැත්වෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අද දහවල් 11.00 සිට ප.ව. 3.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග කීපයක ගමනාගමනය සීමාකර ඇත.  


මේ අනුව පෑලියගොඩ ගුවන් පාලම, ඔරුගොඩවත්ත හන්දිය, දෙමටගොඩ හන්දිය, බොරැල්ල හන්දිය හරහා කනත්ත වටරවුම දක්වා බේස්ලයින් පාරේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.