අගමැති කැඳවූ රැස්වීමට විපක්ෂය නෑ


(අජන්ත කුමාර අගලකඩ)  

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 4 වැනි සඳුදා උදේ කැඳවන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගි නොවීමට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.  

මෙම රැස්වීමට තම පක්ෂය සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් සිකුරාදා (01) අගමැතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබිණි.  


සමගි ජන බලවේගය අද (04) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම රැස්වීමට තම පක්ෂය සහභාගි නොවන බවය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ගිය සිකුරාදා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින්, තම පක්ෂය සඳුදා සාකච්ඡාවට සහභාගි වෙන බව කියා සිටි නමුත් අද (04) උදේ පැවති එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක දී තීරණය කර ඇත්තේ මෙම රැස්වීමට සහභාගි නොවීමටය.  
කොරෝනා වසංගතය හමුවේ රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට අගමැතිවරයා විසින් කැඳවනු ලබන මෙම රැස්වීම සඳුදා උදේ 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.  

 


පාර්ලිමේන්තුව කැඳවීමේ ඉල්ලීම  නොසලකා හැරීම නිසා අගමැතිගේ රැස්වීමට යන්නේ නෑ

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

 

(දයාසීලි ලියනගේ)  

මේ මොහොතේ කළයුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වෙන්නේ පාර්ලිමේන්තුව යළි කැඳවීම බව ඉල්ලා සිටියත් එය නොසලකා හැරීම නිසා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 4 වැනි සඳුදා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සාකච්ඡාවට සමගිජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගී නොවන බව සමගිජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.  

කොරෝනා වසංගතය තුරන් කිරීමට රජය ගනු ලැබූ බොහෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු තිබුණත් ඒවා සැලකිල්ලට නොගෙන රජයට සහාය දැක්වීම සඳහා පක්ෂ නායක රැස්වීම්වලට පවා තම පක්ෂයේ නායකයන් සහභාගී වූ බවද මද්දුම බණ්ඩාර මහතා පැවසීය.  විපතට පත්වූවන්ට සහන ලබාදීම, රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස යොදා ගැනීම, ආපදා කළමනාකරණය සඳහා වූ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම, සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය නොකිරීම, PCR පරීක්ෂණ කඩිනම් කිරීම හා විධිමත් කිරීම යනාදී වශයෙන් තම පෙරමුණ රජයට ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව රජය කිසිදු තැකීමක් නොකළ බව මහලේකම්වරයා ප්‍රකාශ කළේය.  


දැන් කෝවිඩ් මර්දන රේඛාව ඉහළට ගමන් කරමින් තිබීම බරපතළ තත්ත්වයක් වන අතර නීත්‍යානුකූලව රජයේ මුදල් වියදම් කිරීම හා කොරෝනා මර්දනයට අනපනත් සම්මත කිරීමට පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට කරන ලද ඉල්ලීමද නොසලකා හැර තිබෙන නිසා අග්‍රාමාත්‍යවරයා කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී නොවන බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.  


විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් විසින් රජයට සහායදීම සඳහා යවන ලද හරයාත්මක ලියවිල්ල අවැදගත් සේ සලකා බැහැර කර ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.

 

 


රැස්වීමට නොඑන්නේ දේශපාලන කුහකකම නිසා   

ඇමැති මහින්ද අමරවීර

 

(දයාසීලි ලියනගේ)  

පක්ෂ නායක රැස්වීම් සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙන පක්ෂ නායකයන්, සිය කණ්ඩායමේ අය සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැඳවූ රැස්වීමට නොපැමිණෙන්නේ වසංගත උවදුරෙන් පීඩා විඳින රටේ ජනතාවට සහන සැලසීමට දායකවීමට ඇති දේශපාලන කුහකකම නිසා බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.  

ජනතාවට සහන සැලසීම සඳහා කෙරෙන සාකච්ඡා මගින් තම පක්ෂයට ලකුණු දමා ගැනීමට නොහැකි වෙතැයි බියෙන් යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙසටම ඔවුන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා කීය.  
පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍යතාවක් නොවන අතර, එසේ කැඳවනවා නම් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට කැඳවීමත් බරපතල අපහසුතාවක් බව හොඳාකාරවම දන්නා මෙම දේශපාලන පක්ෂවලට පක්ෂ නායක රැස්වීම් අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේ කිසිදු පැකිලීමක් නොමැතිව සහභාගි වූ බවද ප්‍රකාශ කළේය.  


අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මැයි 4 සඳුදා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවීම උචිත දෙයක් නොවන බවද හේ වැඩිදුරටත් කීය.