70 පිරුණු ඒකාබද්ධයට විපක්ෂනායක පුටුව ලැබෙයිද ?



තරුණ මළ සිරුරු කබරයන්ට ප්‍රණීත රස බොජුනක්ව පැවැති අඳුරු යුගයක් මෙයට තිස් අවුරුද්දකට එපිට දී දකුණේ නිර්මාණය විය. හැට දහසක් තරුණ තරුණියන්ගේ ලෙයින් තෙත බරිත පොළොව මතින් ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ සාඩම්බර වාගාලාපයන් අඩුවක් නොවීය. සංහාරයෙන් පසුව සංරක්ෂණය පිළිබඳ පුරාජේරු කතා නිමක් නොවීය.  


 තිස් අවුරුද්දකින් පසුව යළිත් ලංකාව පැමිණි තැනටම ගමන් කර ඇති සෙයකි.  


මාතෘකාව ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වේ.  


ප්‍රජාතන්ත්‍රවාදය වූ කලී ව්‍යවස්ථාවේ පරිච්ඡේද අතර සිර වූ අක්ෂර නොවේ. එය ජීවමාන යථාර්ථයක්ව දිලිසිය යුත්තකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ සැකසංකා පහළ නොවිය යුතුය. එය තිතට නූලට හරියටම ක්‍රියාත්මක වන බවට ඒකාන්ත විශ්වාසයක් නිර්මාණය විය යුතුය.  


ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කියාපාන ප්‍රධාන සාධකයක් වෙන්නේ නිසි කලට මැතිවරණ පැවැත්වීමය. ජනමතය නිවැරැදිව උරගා බැලිය හැකිවෙන්නේ එමගිනි. එහෙත් පළාත් සභා ඡන්දය කවදා පවත්වාවි දැයි සැක සංකාවකි. ඒ සම්බන්ධයෙන් දේශපාලනඥයෝ විවිධ කතා කියති. 

 
තිස් වසරකට එපිට ලේ ගලන ඉතිහාසය ඇරැඹුණෙත් මෙපරිද්දෙමිනි. ඡන්ද සිතියම හකුළා දැමුණි. ඡන්ද ඕනෑද නැද්ද අසන්නට ජනමත විචාරණ පැවැත්විණි. එය අන්ත දූෂිත ඡන්ද විමසීමකි.  
රට තුළ නොසන්සුන්තාව ගංවතුරක් මෙන් ගලා ගියේය. ආවේගශීලී මිනිස් හැඟීම් පුපුරා ගියේය. කළු ජූලිය එහි තාර්කික අන්තය විය. දේශපාලන පක්ෂ තහනම් විය. ජවිපෙ තරුණයෝ වධකාගාරවල දහදුක් විඳිමින් මිය ගියහ. රටම අඝාත අන්ධකාරයක ගිලී ගියේය. නාඳුනන තුවක්කුකරුවා අතට රට ගියේය. මැර සේනාංක ගම් මැද කඳවුරු බැඳගත්හ. රට දොකොන දැවෙන විලක්කුවක් විය.  


ප්‍රජාතන්ත්‍රවාදය එයට හිමි නිසි අරුතෙන් නිසි පැහැයෙන්, නිසි ගැඹුරින් ක්‍රියාත්මක නොවන විට රට තුළ කැලඹිලි මතුවීම ස්වභාවිකය. ඒ කැලඹිලි විවිධ වේෂයෙන් පුපුරා යාමට පටන් ගැනීම ද ස්වභාවිකය. වළක්වා ගත යුතු සැහැසිම ඉරණම එයය.  


පාර්ලිමේන්තුව ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොලය. නීති සම්පාදනයේත් නීති සම්මත කිරීමේත් අනුහස් සහිත බලය ඇති හෙයින් ද මූල්‍ය පාලනයේ විධායක බලය හිමි හෙයින් ද පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය වෙයි.  


ඒ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබේද? ඉක්ම යන මේ මොහොතට අදාළව එම ප්‍රශ්නය වලංගුය.  


මන්ත්‍රී ධුර 16 ක් ඇති දෙමළ ජාතික සන්ධානයට විපක්ෂනායක ධුරය හිමි වී තිබේ. මන්ත්‍රී ධුර 6 ක් ඇති ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයෙ ප්‍රධාන සංවිධායක ධුරය හිමි වී තිබේ. මන්ත්‍රීධුර 70 ක් සහිත ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂයේ එක් පක්ෂයක් බවට පත්වී තිබේ.  


2015 අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 109 ක් ලැබිණි. ඒ අනුව බහුතර බලය හිමි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය හිමිකර ගත්තේය. අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන්නේය.  


මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 95 ක් දිනා ගත්තේය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජාතික ආණ්ඩුවට ආරාධනා කළේය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම එම ආරාධනාව ප්‍රතික්ෂේප කළේය.  


මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී විසි හතර පැයක් ගතවී යන ඇසිල්ලේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ජනාධිපතිවරයා හමු වී තමන්ට විපක්ෂයේ අසුන් ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා එයට අවසර දුන්නේය. ඒ එක කොන්දේසියකට යටත්වය.  


‘විපක්ෂයේ වාඩිවෙන්න. ඒත් විපක්ෂනායක කම නම් ඉල්ලන්න එපා.’ ජනාධිපතිවරයා එසේ කියා තිබේ. ඒ මොහොතේ පැවැති තත්ත්වය අනුව බහුතර මන්ත්‍රී කණ්ඩායම එයට එකඟ විය. ජනාධිපතිවරයාගේ නියමයෙන් පැහැදිලි වෙන්නේ විපක්ෂනායක ධුරයට මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වන්නේ කවුරුන්ද යන්න තෝරනු ලබන්නේ ආණ්ඩුව විසින්ම බවයි.  
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව තුළ ‘ඒකාබද්ධ විපක්ෂය’ ලෙස පෙනී සිටියේය. එහි නායකත්වය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට හිමි විය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 54 ක් විය.  

  • විපක්ෂනායක ධුරය ඉල්ලා නැවත වතාවක් කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමටත් එයට අවනත නොවන්නේ නම් සටන මහපාරට රැගෙන ඒමටත් ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි. 2015 පාර්ලිමේන්තුවේ හැමදාමත් ගැටුම්ය. ආවේගශීලී විරෝධතාවන්ය. මෙම තත්ත්වය උත්තරීතර පාර්ලිමේන්තුවට සුදුසු නැත. එහෙත් මේ ගැටුම් පුපුරා යන්නේ නිස්කාරණේ නොවේ. යුක්තිසහගත ඉල්ලීම් මත පදනම්වය. යුක්තිගරුක භාවය බන්දේසියක තබා පිළිනොගන්වන්නේ නම් එය ඉල්ලා අරගල කිරීම ස්වභාවිකය


පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ බහුතර බලය ඒකාබද්ධ විපක්ෂයට හිමිව තිබුණ ද පාර්ලිමේන්තුව තුළ එම බලය නිරූපනය නොවීය. ඔවුන් සලකා තිබු​ෙණ් ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් ලෙසය. කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින හෙයින් ඔවුන් විපක්ෂයේ කණ්ඩායමක් ලෙස පිළිගැනීමට නොහැකි බවය.  


එහෙත් එයට පෙර එනම් 2010-2015 පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තිබිණි. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පාර්ලිමේන්තුවට පිවිසියේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු ලෙසය. එහෙත් 2011 වසරේ ජනතා විමුක්ති පෙරමුණ තුළ පුපුරා ගිය අර්බුදයේදී අජිත් කුමාර මන්ත්‍රීවරයා ජවිපෙන් බිඳී පෙරටුගාමීන් හා එක්විය. එහිදී තමන් මෙතැන් සිට ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සලකා කටයුතු කරන්නැයි අජිත් කුමාර ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට අනුමැතිය ලැබිණි.  


එම පූර්වාදර්ශය අනුව යමින් තමන් ද පාර්ලිමේන්තුව තුළ ස්වාධීන විපක්ෂ කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීම අවඥාවෙන් පිටුදැකිණි. මන්ත්‍රී ධුර 16 ක් ඇති දෙමළ ජාතික සන්ධානයටත් මන්ත්‍රීධුර 6 ක් ඇති ජනතා විමුක්ති පෙරමුණටත් පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඇති තරම් කාලය වෙන්වද්දී ඒකාබද්ධ විපක්ෂයට වෙන්වූයේ සොච්චම් කාලයකි.  


ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල තුළ කිසි ලෙසකින් හෝ සිදු නොවිය යුතු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අඛණ්ඩව අරගලයක් දියත් කළේය.  
එහෙත් අවඥාවේ මුගුර එසැවුණා විනා සාධාරණය ඉටු වූයේ නැත.  


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර පක්ෂයක් වන විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන පක්ෂයක් ලෙස පිළිගන්නා මෙන් කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.  


එහෙත් එය ද ප්‍රතික්ෂේප විය. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට අවස්ථාව ලැබුණ ද එය ක්‍රියාත්මක වෙමින් පැවැති අවනඩුව ඉදිරිපිට ලූනු බිකක් තරම් හෝ නොවටිනා දෙයක් විය.  


උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මෙතරම්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් සිදුවිය හැකිද යන ප්‍රශ්නය මතු කෙරෙන තරමට තත්ත්වය බරපතළ විය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ආවේගශීලී මිනිස් හැඟීම් ප්‍රබෝධමත් කරන විප්ලවකාරී දේශපාලන පක්ෂ පවා එහි කොටස්කරුවෝ වූහ.  


අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරනු ලැබුවේ ඔය අතරවාරයේදීය. එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවේ ඇමැති තනතුරු දැරූ 16 දෙනෙක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇමැති ධුරවලින් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගත්හ.  


ඒ අනුව මේ වෙන විට එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ නැග තිබේ. දේශපාලන සදාචාරය සම්බන්ධයෙන් අබමල් රොනක තරම් හෝ වග වීමක් වේ නම් කළ යුතුව තිබෙන්නේ විපක්ෂයේ බහුතර බලය හිමි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂනායක ධුරය දීමය.  


එයට සූදානමක් ඇති බවක් නොපෙනේ. එහෙයින් විපක්ෂනායක ධුරය ඉල්ලා නැවත වතාවක් කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමටත් එයට අවනත නොවන්නේ නම් සටන මහපාරට රැගෙන ඒමටත් ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.  


2015 පාර්ලිමේන්තුවේ හැමදාමත් ගැටුම්ය. ආවේගශීලී විරෝධතාවන්ය. මෙම තත්ත්වය උත්තරීතර පාර්ලිමේන්තුවට සුදුසු නැත. එහෙත් මේ ගැටුම් පුපුරා යන්නේ නිස්කාරණේ නොවේ. යුක්තිසහගත ඉල්ලීම් මත පදනම්වය. යුක්තිගරුක භාවය බන්දේසියක තබා පිළිනොගන්වන්නේ නම් එය ඉල්ලා අරගල කිරීම ස්වභාවිකය.  


 ප්‍රශ්නය එයම නොවේ? ප්‍රජාතන්ත්‍රවාදය එයට හිමි නිසි අරුතෙන්ම නිසි පැහැයෙන්ම පිළිබිඹු විය යුතු පාර්ලිමේන්තුව තුළ එය එසේ නොවන්නේ නම් එමගින් රටට දෙන පණිවිඩය කුමක්ද යන්නය. ලේ පිළී දුඟඳ හමන සාපලත් භීම අන්ධකාර යුගය ගැන එළැඹ ගත් සිහියෙන් ආවර්ජනය කළ යුතු වන්නේ එහෙයිනි.

 

 

 

 

සටහන 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්