20 වැනි සංශෝධනය විසිවැනිදා මැතිස​ෙබි විවාදයට


(අජන්ත කුමාර අගලකඩ)  
සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක දී පැවැත්වීමට අදාළව ලබන බදාදා (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනෙන විසිවැනි ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව මෙහෙයුමක් ආරම්භ කර ඇත.  

 ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුනට එදින පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්ය කර ඇති අතර මැති ඇමැතිවරුන්ට පිටරට යාම ද තහනම් කර ඇතැයි වාර්තා වේ.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72වැනි සැසිවාරය ඇමැතීමට අද (17) ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර ලබන බදාදා පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්ය කර ඇති නිසා ආණ්ඩු පක්ෂයේ කිසිදු මැති ඇමැතිවරයකු මෙම සංචාරයට සහභාගි නොවීමටම බොහෝ දුරට ඉඩ ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ලබන බදාදා පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්ය කර ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය ඔවුන්ට ලිඛිතව දන්වා යවා ඇතැයි ද වාර්තා වේ.  


 පළාත් සභාවල මැතිවරණය එකම දිනක දී පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාව සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුතින් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.  


පළාත් සභාවල මැතිවරණය ලබන 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ද එම සංශෝධන අතර වෙන බව පැවසේ.  


 මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීම සඳහා ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමඟ ද සාකච්ඡා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.  


 උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිත අතර එය නියමිත නිල කාලය අවසන් වන තෙක්ම පවත්වාගෙන යාමට ඉඩදිය යුතු බවට වන යෝජනාවක් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට ඉදිරිපත් කර ඇතැයි ද පැවැසීය.  


 එම යෝජනාව පිළිගන්නේ නම් 20 වැනි සංශෝධනයට සහාය දීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.