16 දෙනා භාරගන්න පොහොට්ටුව අකමැතියි


(දයාසීලි ලියනගේ) 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දුන් ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සමඟ එක්ව නව රජයක් පිහිටුවීම සඳහා ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් බහුතරයකගේ දැඩි විරෝධය පළවී ඇති බව වාර්තාවේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය එක්සත් ජාතික පක්ෂය සමඟ පාලන බලය ගෙනයාමට එරෙහි වැඩපිළිවෙළට මෙම 16 දෙනාගේ සහාය ලබා ගත්තත් ඉදිරි දේශපාලන කටයුතුවලට ඔවුන්ගේ සහාය ලබා නොගත යුතු බවට මෙම මන්ත්‍රී පිරිස දැඩි මතයක සිටින බව දැන ගන්නට ඇත. 


මෙම 16 දෙනාගෙන් ඇතැමෙක් තම පුතුන්ගේ දේශපාලන අරමුණු ඉදිරියට ගෙනයාමටත් තවත් අය පළාත් පාලන මැතිවරණය පරාජය වීමෙන් පසු තම දේශපාලන අනාගතය සාර්ථක කර ගැනීමටත් ජනතා අප්‍රසාදය මඟ හරවා ගැනීමටත් ගෙන ඇති පියවර හමුවේ පොදුජන පෙරමුණ විමසිලිමත්ව ක්‍රියා කළ යුතු බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.