16 ඒකාබද්ධයට එනවා නම් ආණ්ඩු පක්ෂ රැස්වීම බෑ


මහින්දගෙන් කොන්දේසි

(නාලක සංජීව දහනායක) 

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වන්නේ නම් ඔවුන් ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලට සහභාගි නොවිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. 

පසුගිය අඟහරුවාදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වන බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන ඇතුළු පක්ෂ නායකයින් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ. 


ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී කටයුතු කරන බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනා ද ඒකාබද්ධ විපක්ෂයේ කුමක් හෝ දේශපාලන පක්ෂයකට සම්බන්ධ විය යුතු බව ද පවසා ඇත. 


මෙම තීරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 16 දෙනා දැනුවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.