11 වැනිදා සිට ඇඳිරි නීතිය තිබියදීම කොළඹ කන්තෝරු ඇරෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදීම, රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන ලබන සඳුදා (11) සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.  

එහිදී කොරෝනා වයිරසය පාලනය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම පිළිපඳින බවට ආයතන ප්‍රධානින් වගබලා ගත යුතු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.  මෙම දිස්ත්‍රික්කවල දෛනික ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට මෙම පියවර ගෙන ඇත.  


මෙම දිස්ත්‍රික්ක හතර හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදා (04) අලුයම 5.00ට ඉවත් කරනු ලැබූ අතර, එය රාත්‍රී 8.00ට පනවා පසුදා අලුයම 5.00ට ඉවත් කෙරේ. එම දිස්ත්‍රික්කවල ලබන බදාදා (06) වෙනතෙක් මේ ආකාරයට ඇඳිරි නීතිය ඉවත් කිරීම ක්‍රියාත්මක වෙන අතර, බදාදා රාත්‍රී 8.00ට පැනැවෙන ඇඳිරි නීතිය ලබන සඳුදා (11) අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මක වෙන බව ජනාධිපති කාර්යාලය කියයි.