1 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්


නීතිපතිගේ ස්ථාවරය ජනපතිට දන්වයි 

 

 

(අජන්ත කුමාර අගලකඩ) 

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව ලබන මස 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක විසුරුවා හැරිය 

හැකි බව නීතිපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී ඇත. 

නීතිපතිවරයා මෙම දැනුම්දීම කර ඇත්තේ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නීතිපතිවරයාට යවන ලද ලිපියට පිළිතුරු වශයෙනි. 


වත්මන් පාර්ලිමේන්තුවට ලබන මස 1 වැනිදාට වසර හතරතුක් මාස 6ක් සම්පූර්ණ ​ෙවන බැවින් ජනාධිපතිවරයාට ලබන මස 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකි බවද නීතිපතිවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත. 


ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. 
මේ අතර පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීම හා මහමැතිවරණයට අදාළ කටයුතු විමසමින් ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ගියසතියේ ලිපියක් යවා ඇත. 


ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හරින්නේ නම් මහමැතිවරණයට නාමයෝජනා කැඳවන දිනය නාමයෝජනා කැඳවීමේ අවසන් දිනය මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වන දිනය විසුරවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතු බැවින් මෙම විමසීම කර ඇතැයි වාර්තාවේ. 
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය මතය මේ සති අන්තයේදී ජනාධිපති ලේකම්වරයා වෙත ලබාදෙනු ඇතැයි දැනගන්නට ඇත.