ලංකාව ආසන්නයේ මළ මුහුදක්


 

කාලයෙන් කාලයට ලංකාවාසීන්ට අහිතකර තත්ත්වයක් උදාකර දෙන භූගෝලීය පිහිටීම් පිළිබඳව කතා අසන්නට ලැබේ. නවතම පුවත වන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දිගින් පිහිටි බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ග කිලෝ මීටර් 60000ක මළ මුහුදු ප්‍රදේශයක් නිර්මාණය වී ඇති බවය.   


අහිකර මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතුපාදකවී ඇති බවත් ඉන් මත්ස්‍ය නිෂ්පාදනයට මහත් තර්ජනයක් එල්ලවෙන බවත් එය ධීවර ජීවිතයට ඍජු බලපෑමක් කරන බවත් නොවලහා පැවසිය යුතුය.   


එසේම දියවැල්වල සොබාවික ක්‍රමවේදය වෙනස්වීම කාලගුණික සාධක වෙනස්වීමට බලපාන අතර එහි බලපෑම කෙබඳු දැයි කාලය ඔබට කියාදෙනු ඇත. මිනිසා පරිසරය විනාශ කරන විට පරිසරය මිනිසාට එරෙහිව නිහඬ අරගලයක නිරත වෙයි. මළ මුහුදු කලාපයක් ඇතිවීම එහි ප්‍රතිඵලයයි.   
මළ මුහුදු කලාපයක් යනු කුමක්ද? එය සැකසෙන්නේ කෙසේද? එහි ප්‍රතිවිපාක කෙබඳුද, එය වළකා ලන්නේ කෙසේද යන්න පිළිබඳ කතා කිරීමට සමුද්‍රජීවී පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සම්බන්ධ කර ගත්තෙමු.   

මුහුද හා මළ මුහුද අතර වෙනස කුමක්ද?  


මුහුදක් කියන්නේ රට අභ්‍යන්තරයේ හෝ රටට පිටින් පිහිටා තිබෙන කුඩා ජලතලා ප්‍රදේශයක්. එහෙම නැත්නම් කුඩා සාගරයක්. කැස්පියන් මුහුද, මධ්‍යධරණී මුහුද ඊට උදාහරණයි.  


මළ මුහුදක් කියන්නේ ලවණ අධි සාන්ද්‍රණය වූ ප්‍රදේශයක්. මෙහි ඇති ලවණ අධි සාන්ද්‍රණ බව නිසාම ජීවීන්ට හිතකර පරිසරයක් නොවෙයි. ඒ වගේම කිසිවක් ජලයේ යට නොයා පාවීම මෙහි අනන්‍යතාවයි.  


ඒ වගේම සාමාන්‍ය මුහුදු ජලයේ ලවණතාවය ලීටරයකට ලවණ ග්‍රෑම් 35ක් විතර ඇති. මළ මුහුදක මේ ප්‍රමාණය වැඩි වෙනවා.  


මළ මුහුදු කලාපයක් කියන්නේ කුමක්ද? 

 
සාගරයක් කියන්නේ විශාල ජල තල ප්‍රදේශයක් බව අපි කිවුවා. එහි මළ මුහුදු කලාප මෙන්ම අලුතින් ඇතිවන මුහුදු කලාප පවතිනවා. ඒ කලාපවල ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. ඒ නිසා මුහුදු පැළෑටි සහ මත්ස්‍යයන් බෝවිම අඩුයි. එවැනි ප්‍රදේශයි මළ මුහුදු කලාප කියන්නේ.   


මළ මුහුදු කලාපයක් ඇතිවීමට ප්‍රධානම හේතුවක් තමයි මුහුදේ සමහර ප්‍රදේශවල තිබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම. මෙය 1980 ගණන්වල තමයි ප්‍රථම වරට සොයා ගත්තේ. වසර 50ක් වගේ කාලයක් ඇතුළත මේ තත්ත්වය සීයට හාරසීයකින් විතර වැඩි වෙලා තිබෙනවා.  


මෑතකදී මළ මුහුදු කලාපයක් පිළිබඳ තොරතුරු තිබෙනවාද? 

 
ළඟදීම හොයා ගත්ත තොරතුරු තමයි බෙංගාල බොක්ක ප්‍රදේශයේ මළ මුහුදු කලාපයක් ඇතිවෙමින් පවතිනවා කියන කාරණය. මීට බලපාන ප්‍රධානම කාරණය නම් අහිතකර මිනිස් ක්‍රියාකාරකම්.   


මුහුදු ජලය උඩ මට්ටමේ සිට මීටර් 100ට පමණ යටින් මේ කලාපය ආරම්භ වන්නේ. එය එම ආරම්භක ස්ථානයේ සිට යටට තවත් මීටර් 400ක් දක්වා ව්‍යාප්තවෙලා තිබෙනවා.  
මෙම තත්ත්වය වර්ග කිලෝ මීටර් 60000ක් පුරා පැතිරිලා තිබෙනවා. එසේ පැතිරුණු ප්‍රදේශයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. එහි සත්තුන්ට ජීවත්වීමට නොහැකි පරිසරයක් නිර්මාණය වෙලා තිබෙනවා.   


මළ මුහුදු කලාපය වර්ධනය වන්නේ කෙසේද?  


මුහුදට වැඩිපුර නයිට්‍රේට් පොස්පේට් සහ කාබනික ද්‍රව්‍ය මෙන්ම අසූචි සහ මළ අප ද්‍රව්‍ය එකතුවීමත් මීට ප්‍රධාන හේතූන් වෙනවා. මින් ජලයේ ඇති පෝෂණ ප්‍රමාණය වැඩිවෙනවා. මේ හරහා ඒ ප්‍රදේශවල ඇති ඇල්ගී වගේ දේවල් වැඩි ප්‍රමාණයෙන් වර්ධනය වෙනවා.   


මේ ආකාරයට ඇල්ගී ශීඝ්‍රයෙන් වර්ධනය වනවිට ඉහළ ඇල්ගී තට්ටුව නිසා පහළ ඇල්ගී තට්ටුවට සෙවනක් ලැබෙනවා. ඉන් පහළ ඇල්ගී තට්ටුවට ආලෝකය නොලැබී යනවා. මේ හේතුව නිසා පහළ ඇල්ගී තට්ටු මියයනවා. එසේ මියගිය ඇල්ගී කුණුවීම නිසා ඒ තුළින් නයිට්‍රජන් සල්ෆයිඩ් කියන වායුව නිකුත් වෙනවා. එය බිත්තර කුණු වූ ගඳ සහිත විෂ වායුවක්. මේ විෂ වායුව නිසා උඩ තිබෙන ඇල්ගීත් පසුව මැරෙන්න පටන් ගන්නවා.  


මේ හේතූන් නිසා ඔක්සිජන් ප්‍රමාණයත් පහත බසිනවා. ඉන් සතුන්ට ජීවත්වීමට බැරි පරිසර තත්ත්වයක් ඇති වෙනවා. මෙවැනි තත්ත්වයකදී පිහිනා යා හැකි මාළුන් වැනි සතුන් ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙනවා. ඒත් මුහුදු පතුළේ ඇලිලාවගේ වර්ධනය වන කොරල් පර වැනි දෑ විනාශ වෙලා යනවා.  


මෙවැනි තත්ත්වයකදී තමයි අපි මළ මුහුදු කලාපයක් ඇතිවෙලා කියන්නේ. මේකට ප්‍රධානම හේතූන් තමයි අධි සුපෝෂක තත්ත්වය සහ දූෂකාංග වැඩිපුර මුහුදට එකතුවීම.   


බැහැර කරනු ලබන නොදිරන ද්‍රව්‍යයත් මීට ඇතුළත්ද?  


ඇත්තෙන්ම ඔව්. අප හිතුමනාපේ බැහැර කරන ප්ලාස්ටික්, පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍යයත් මුහුදට එකතුවී මුහුදු පතුලේ තැන්පත් වෙනවා. එසේ තැන්පත් වූ ස්ථර අතර ඔක්සිජන් අඩුවන අතර නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව වැඩිපුර නිපදවීම සිදුවෙනවා. මෙවැනි තත්ත්වයකදීත් මුහුදු ජීවීන්ට ජීවත්වීමට නොහැකි පරිසරයක් ඇති වෙනවා. අද එන්න එන්නම පරිසර දූෂණ තත්ත්වයත් වැඩි වන නිසා මෙම අහිතකර ප්‍රතිඵලත් දවසින් දවස වැඩි වෙලා තිබෙනවා.  


1980 ගණන්වල සිටම මේ මළ මුහුදු කලාප ඇතිවීම පිළිබඳ විශේෂඥයෝ මත පළ කර තිබුණා.   


මෙම තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?  


ගංගා දූෂණය හා වෙරළ කලාප දූෂණය වළක්වාගන්න ඕන. මුහුද කොච්චර ලොකු වුණත් දරාගත හැකි ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා පොලිතීන්, ප්ලාස්ටික් සහ මළ අපද්‍රව්‍ය, පොහොර වර්ග, කෘෂි රසායන ද්‍රව්‍ය, පරණ හා භාවිත කළ බෙහෙත් වර්ග ආදිය පරිසරයට බැහැර කිරීම නතර කිරීම අත්‍යවශ්‍යයි.  

 

 


මිනිස් අවධානය යොමු නොවුණොත් සිදුවිය හැකි අහිතකර ප්‍රතිවිපාක මොනවාද?  


බහුතර ධීවර ජනතාවට මෙය ඍජුවම බලපානවා. මෙම මළ මුහුදු කලාපය නිසා මත්ස්‍ය අස්වැන්න අඩුවෙනවා. හේතුව මත්ස්‍ය නිෂ්පාදනයට අවශ්‍ය පරිසර සාධක හීනවීම.  
ඒ වගේම ජලයේ ඝනත්වය වැඩිවීම නිසා දියවැල්වල ක්‍රමවේදය වෙනස්විය හැකියි. මේ නිසා කාල ගුණ විපර්යාස ඇතිවීමේ අවදානමකුත් තිබෙනවා.   


මෙහිලා අප සතු වගකීම කුමක්ද?  


මිනිසාගේ ක්‍රියාකාරකම් තමයි මළ මුහුදු කලාප ඇතිවීමට ප්‍රධාන හේතුව. ගොඩබිමදී කරන පරිසර විනාශකාරී ක්‍රියා නතර කළ යුතුයි. විශේෂයෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කළ යුතුයි. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලි හඳුන්වාදිය යුතුයි. කසළ කළමනාකරණය ඉතාම වැදගත්.  


පුද්ගලිකවම අපි පරිසරයට ආදරය කරන පුද්ගලයෝ විය යුතුයි. පසුගිය කාලයේ ලංකාවේ මුහුදු වෙරළ දූෂිතම මුහුදු වෙරළවල් අතර මුල් ස්ථානයකට පැමිණියා. මුහුදු වෙරළට එන අපද්‍රව්‍ය තමයි මුහුදට යන්නේ.  


මේ අදාළ කලාපය වටා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය සහ ඉන්දුනීසියාව තිබෙනවා. මේ රටවල් එකතුවෙලා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගෝලීයව සාකච්ඡා කර මීට දීර්ඝ කාලීන පිළියම් සෙවිය යුතු වෙනවා. විශේෂයෙන්ම පොලිතින්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශක්තිමත් වැඩ පිළිවෙළවල් සකස් කිරීම වැදගත්.   


මේ සියලු දේ වගේම පරිසරය දූෂණය සම්බන්ධව ඇති නීති ශක්තිමත් කිරීමත් අවශ්‍යයි.

 

 

සටහන
කුමාරි හේරත්  

 


Recommended Articles