නළ ජලයත් නැති වෙයිද ?


පවතින දරුණු නියඟයත් සමග කොළඹ ජනතාවට ජලය සීමාවනු ඇතැයි මහත් ආන්දෝලනයක් පවතියි.


කොළඹ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලැබෙනුයේ නළ ජලයෙනි. මේ සම්බන්ධයෙන් කොළඹ ජනතාව තුළද ජලය කපා හරිනු ඇතැයි කිසියම් බියක් පවතී.


එහෙත් කොළඹට ජලය සපයන අඹතලේ, කලටුවාව ජලාශවල ජලයෙහි මෙතෙක් අඩුවීමක් නොමැති නිසා ජලය කැපීමක් සිදුනොවනු ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් අපි අදාළ නිලධාරීන් සමග කරුණු සොයා බැලීමක් කළෙමු.


ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරි (බස්නාහිර) සුමිත් පෙරේරා මහතා.


දැනට පවතින අධික නියඟය නිසා ජල පරිභෝජනය වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම විදුලිය පැය 3ක් නතර කිරීමත් අපට ගැටලුවක්. මොකද ජල කුලුනුවලට ජලය පොම්ප කිරීම සම්බන්ධයෙන් සමහර ස්ථානවල ගැටලු පැනනැඟිලා තියෙනවා විදුලිය නොමැතිව.


නමුත් සාමාන්‍ය පරිදි වෙනදා ලබාදෙන ජල ප්‍රමාණය අපි පවිත්‍රාගාරවලින් ලබාදෙනවා. ජලය අඩු කිරීමක්වත් කප්පාදු කිරීමක්වත් කොහෙත්ම සිදුවෙන්නෙ නෑ.
දැනට පවතින නියඟය නිසා ජල පරිභෝජනය වැඩියි. ඒ නිසා යම් ජල නළ හෝ උස්බිම් ප්‍රදේශවල පිහිටි නිවාසවලට ජලය ගමන් කිරීමේ අපහසුවක් තිබෙනවා. මොකද ජලයේ තිබෙන පීඩනය අඩු නිසා. මෙය ජනතාවත් තේරුම් ගත යුතුයි. නැතිව අපි කවදාවත් මේ මොහොතේ ජලය විසන්ධි කරන්න තීරණයක් අරගෙන නැහැ.


​ෙකාළඹ නගරයට පමණක් ජලය දිනකට ඝන ලීටර් තුන්ලක්ෂ තිස්දාහක් පමණ ලබාදෙනවා. ඒ ධාරිතාවයෙන් දැනට ජනතාවට අවශ්‍ය එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන්. තවම ප්‍රශ්නයක් වෙලා නෑ. අපි මේ වෙද්දී විශේෂ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කරගෙන යනවා. ජනතාවට නොනවත්වාම වැඩි පීඩනයකින් ජලය ලබාදෙන්න.


ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාත්මක හා නඩත්තු අංශයේ (බස්නාහිර) සහකාර සම අධිකාරි ඒ.කේ. කපුරුගේ මහතා.


අපි කිසිසේත්ම ජලය කපා හැර නැහැ. අපි ප්‍රධාන වශයෙන් කොළඹ නගරයට ජලය සපයන්නේ අඹතලේ සහ කලටුවාව යන ජලාශ දෙකෙන්. දිනකට කොළඹ නගරයට පමණක් ජලය ඝන ලීටර් ලක්ෂ 3ක පමණ ප්‍රමාණයක් මුදා හරිනවා කොළඹ නගරයේ සෑම තැනකටම. ඒ වගේම මාලිගාකන්ද, එළිහවුස් වගේ පොම්පාගාර වලිනුත් ජලය සපයනවා.
දැන් තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ නියඟය. ඒත් අපි කොළඹට අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස නිකුත් කරනවා. එහි කිසිම අඩුවක් කරලා නැහැ. නමුත් ඉදිරියේදී තවදුරටත් නියං තත්ත්වයක් ඇති වුණොත් යම් ගැටලුවක් එන්න පුළුවන්. අපි සැපයුම ලබාදෙනකොට ඉල්ලුම වැඩියි. දැන් මෙතැනදී ඇතැම් අයට ජලය ලැබෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් ජලාපවහන මණ්ඩලය හදිසි නඩත්තු කටයුත්තක් සඳහා පැය 6ක්, 7ක් ජලය විසන්ධි කළහොත් තමයි. එතැනදී වෙන්නෙ මෙහෙමයි.
කොළඹ නගරයේ සෑම නිවසකම වගේ ජල ටැංකි හෝ පොළොව යට භූගත ටැංකි (සම්ප්) එකක් තිබෙනවා. ඔවුනට පැය ගණනක් ජලය විසන්ධි කළාට ගැටලුවක් නැහැ. මොකද ඔවුන්ට ප්‍රමාණවත් ජලය රැස්කර ගෙන තිබෙනවා. නමුත් ජලය නැවත සපයන විට මුලින්ම පිරෙන්නෙ භූගත ටැංකිවලට එතකොට උස්බිම්වල පිහිටි නිවාසවලට ජලය සැපයෙන්න ටික වෙලාවක් ගතවෙනවා.


වතුර එන පෙෂර් එක අනුව ඉස්සෙල්ලම පිරෙන්නෙ භූගත ජල ටැංකි. උස්තැන්වලට ජලය යන්න ටික කාලයක් පරක්කු වෙනවා. දින එක හමාරක් පමණ යනවා. ඒ නිවෙස්වලට ජල සැපයුම යථාපරිදි සපයන්න.


දැන් දිනකට වැඩිපුරම ජලය පාවිච්චි වෙන්නෙ පෙරවරු. 5.30 සිට පෙරවරු 8.30 කාලය තුළත් සවස 4.30 සිට රාත්‍රී 8ත් දක්වා කාලය තුළ, දිවා කාලයේදීත් තරමක් ජලය පාවිච්චි වෙනවා. මෙය බලපැවැත්වෙන්නෙ ගොඩක් නාගරික ප්‍රදේශවල.


රාජගිරිය වගේ ප්‍රදේශවලට නිරන්තරයෙන් පැය 3ක් ජලය විසන්ධි වෙනවා නේද?


ඔව්. රාජගිරිය ප්‍රදේශයට ජලය සැපයෙන්නෙ කොළොන්නාව ජල සම්ප්‍රේෂණාගාරයෙන්, ඒක විශේෂ හේතුවක්. කොළොන්නාව අතිරේක ජල සම්ප්‍රේෂණාගාරයෙන් රාජගිරියට ජලය සැපයෙනවා. කොළොන්නාව හා රාජගිරිය කියන්නෙ සීඝ්‍රයෙන් දියුණුවෙන ජනගහනය විශාල වශයෙන් ඉන්න ප්‍රදේශ දෙකක්, විශේෂයෙන් කොළොන්නාව.
ඒ ප්‍රදේශයේ සුවිශාල ගොඩනැගිලි, නිවාස වගේ සෑහෙන ඉදිකිරීම් සිදුවෙනවා. එතකොට අපි වෙනදා ලබාදෙන ජල ප්‍රමාණයම තමයි ලබා දෙන්නෙ. ඒක නිසා සුළු ගැටලුවක් තියෙනවා. අපි මුදාහරින ජලය කොළොන්නාවටම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි දැන් එයට වැඩ පිළිවෙළක් සකස් කළා.


කොළොන්නාවේ සිට මොරගස්මුල්ල ප්‍රදේශයට එන ජලය නතර කරලා I.D.H. හන්දියේ ටවර් එකෙන් වෙනම නළයක් මතින් මොරගස්මුල්ල ප්‍රදේශයට ජලය ලබාදෙන්න. එතකොට මොරගස්මුල්ලේ සිට නාවල ප්‍රදේශයට ජලය ලබාදෙන්නෙ ඉදිරියේදී I.D.H. ටවර් එක හරහා. ජලය කොළොන්නාවට පමණක් සීමා කරනවා. ඒ ප්‍රශ්නයත් කඩිනමින් විසඳේවි.
අවුරුදු කාලයේ වතුර කපනවා කියලා එකක් නැහැ. එහෙම කරන්න ජල සම්පත් මණ්ඩලය තීරණය කරලා නැහැ. අවුරුදු කාලය වෙනකොට කොළඹ ප්‍රදේශයේ ගැටලුව බොහෝ දුරට විසඳෙයි. විශාල ප්‍රශ්නයක් ආවොත් එන්නෙ මහරගම හා හෝමාගම ප්‍රදේශවලට තමයි. නමුත් ඒවා නගර සීමාවෙන් පිටතනෙ.


දැන් නොනගතය වෙලාවෙදී ඇතැම් නිවෙස්වල වාහන සෝදනවා, වෙනත් කාර්යවල නිරතවෙනවා. ඒක නිසා ඒ පළාත්වල පොඩි ගැටලුවක් ඇති වෙයි. ඒක අපි හඳුනාගෙන තියෙනවා.


දැන් ඒ දවස්වලට අපි දිනපතා නිකුත් කරන ජල ප්‍රමාණයට වඩා වැඩි ජලයක් ඒ නිවාඩු දවස්වලට නිකුත් කරන්න ඕනෑ. නමුත් අපිට ඉදිරියේදී සැලසුමක් තියෙනවා මුහුදේ ඉඳලා ජලනළ පද්ධතියක් එළන්න. එතකොට නම් ගැටලුව බොහෝදුරට විසඳෙයි.


දැන් මේ උත්සව සමයේ ගොඩක් දෙනෙක් නිවෙස්වලයි ඉන්නෙ. එතකොට ජල පරිභෝජනය වැඩියි. ඒ කාලයේ සාමාන්‍ය ජල ඉල්ලුමක් නෙමෙයි තියෙන්නෙ. ඉතා ඉහළ ජල ඉල්ලුමක්.


කොළඹ විශාල ගැටලුවක් වෙන්නෙ නැහැ. මොකද කොළඹ නගරයේ ගොඩක් කර්මාන්තශාලා වැසෙනවා. එතකොට කොළඹ ජල ඉල්ලුම අඩුවෙනවා. දැනට ජල සැපයුමේ අඩුවක් නැහැ. නමුත් ඉල්ලුමේ වැඩිවීමක් තියෙනවා.


දැනට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ගඟේ වතුර අඩුවුවහොත් අපට යම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජලය පොම්ප කිරීමේ ගැටලුවක් තිබෙනවා. එතකොට අපේ සැපයුම අඩුවෙනවා කියන්නෙ ජල ඉල්ලුම තවත් ඉහළ යනවා. එතැනදී අපට ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් නියඟය ඇතිවෙන්න ඇති වෙන්න ජල ඉල්ලුම වැඩිවෙනවා.
මම විශේෂ ඉල්ලීමක් කරනවා ජනතාවගෙන්, මේ කාලෙදි මල් පැළවලට ජලය දැමීමේදී, වාහන සේදීම වැනි කටයුතුවලදී තරමක් ජලය පාවිච්චි කිරීම සීමා කරන ලෙසට.


ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා.


දැන් නියඟයක් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා රට පුරාම විදුලිය කැපීමක් සිදුවෙලා තියෙනවා. ඒත් එක්කම ඒ විදුලිබලය නොමැති නිසා ජල පොම්පාගාරවල කටයුතු කරන්න බැරි වෙන ස්ථානවල අපේ ජලසම්පාදන මණ්ඩලයේ නිෂ්පාදනය අඩුවෙලා තියෙනවා. ඒ අනුව ජල කප්පාදුවක් සිද්ධ වෙමින් තියෙනවා. ඒක විවිධ යම් යම් ස්ථානවල ජල සැපයුමට බාධා ඇතිවෙලා.


අපි දැන් කියන්නෙ මේ තත්ත්වය. නියඟයක් එනවා. නියඟය ආවට පස්සෙ මේ විදියට ජනතාවට අපහසුකම් සිද්ධ වෙනවා. විදුලිය කැපෙනවා. විදුලිය කැපෙද්දී ජල සැපයුම අඩාළ වෙනවා. ​මේ දේ මේ අවුරුද්දට පමණක් සිද්ධ වුණු දෙයක් නෙමෙයි. මීට පෙරත් සිදුවෙලා තියෙනවා. ඒ පිළිබඳව අපිට අවබෝධයක් ලැබුණා.


අපි කියන්නෙ මේ සඳහා වගකීම තියෙන බලධාරීන් හා රජය ජනතාව අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා වහාම මැදිහත් වෙලා කළ හැකි දෙයක් කරන්න ඕනෑ කියලා.
ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ දේ සාධාරණීකරණය කරන්න පුළුවන් නියඟයක් තියෙනවා, ඒ නිසා ජලය ලබාදෙන්න විදියක් නෑ කියලා. එය නොවෙයි විය යුතු වන්නෙ. රජයක වගකීම එය නොවෙයි. ආයතනයක වගකීම එය නොවෙයි. විකල්ප ක්‍රියාමාර්ග බලලා ඒවා වහාම ක්‍රියාත්මක විය යුතුයි. බවුසර්වලින් ජල සැපයුමක් ආදි වශයෙන් ජනතාවගේ මේ ප්‍රශ්න හඳුනාගෙන ඔවුන්ට බලපාන දේ පිළිබඳව සොයා බැලිය යුතුයි.


අපිට පහුගිය සැප්තැම්බර් සිට වැසි ලැබෙන්නෙ නෑ. ඒ මාසවල හොඳට වැසි ලැබෙන්න ඕනෑ. නමුත් ලැබුණේ නෑ. සාමාන්‍යයෙන් ජනවාරි, පෙබරවාරි මාසවල පායනවා. නමුත් නැවත අප්‍රේල්, මැයි වෙද්දී වැසි ලැබෙනවා. ඔක්තෝබර්, නොවැම්බර්වලත් වැසි නොලැබීම ඉල් මහේත් වැසි නොලැබීමේ තත්ත්වය අවබෝධවීම අනුව මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබුණා. ඒකට භාණ්ඩාගාරයේ මුදල් ද? එහෙම නැත්නම් මුදල් වෙන් කිරීමක්ද?


අතිරේක මුදල් වෙන් කිරීමක්ද? අතිරේක වැඩ පිළිවෙළක් වෙනුවෙන් අදාළ බලධාරීන්ටත් රජයටත් වගකීමක් තියෙනවා. ඒ වගකීම මේ වනතුරුත් ඉටුවෙලා නැත්නම් වහාම මේ වැඩකටයුත්තට මැදිහත් වෙලා ජනතාව අපහසුතාවයට පත්වීම වළක්වන්න ඕනෑ. පළමුවෙන්ම සිද්ධ වෙන්න ඕනෑ ජනතාව අපහසුතාවයට පත්වීමෙන් මුදවා ගැනීමත් පීඩාවෙන් මුදවා ගැනීමත් තමයි.

 

 

ධනු විජේරත්න

 



Recommended Articles