ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන මිල සහනයක් නොදුන්නොත් වර්ජනයක්


(සමන්තිකා මාධවී) 

රජය ක්‍රියාත්මක කරන ඉන්ධන මිල සූත්‍රයට අනුව එළඹෙන අගෝස්තු 10 වැනිදා පෙට්‍රල්, ඩීසල් මිල ගණන් වෙනස් වීමට පෙර ත්‍රිරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා ඇතුළු පෞද්ගලික මට්ටමේ ප්‍රවාහන සේවා සැපයුම්කරුවන් සඳහා ඉන්ධන මිල සහනාධාරයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් පෞද්ගලික අංශයේ සියලු ප්‍රවාහන සේවා සැපයුම්කරුවන් සම්බන්ධ කරගනිමින් දීපව්‍යාප්ත මට්ටමේ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවේය. 

ශ්‍රී ලංකාව පුරා දැනට පාසල් බස් රථ හතළිස් දහසක්, කාර්යාල ප්‍රවාහන සේවා දොළොස් දහසක් සහ ත්‍රිරෝද රථ එකොළොස් ලක්ෂ පනස්දහසක් පමණ සේවයේ යොදවන අතර ඉන්ධන මිල නිතර වෙනස්වීම හේතුවෙන් ස්වකීය කර්මාන්ත පවත්වා ගෙන යෑමේ දැඩි අසීරුතාවකට ඔවුන් ලක්ව සිටිති. දිනපතා සේවයේ යෙදවෙන වාහන නඩත්තු කටයුතු සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවන අතර වාහන අමතර කොටස් මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ඔවුන් තවදුරටත් අපහසුතාවයට පත්ව ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. 


අන්තර්ජාල ඇනවුම් මගින් හා ක්ෂණික දුරකථන ඇමැතුම් මගින් ප්‍රවාහන සේවා සපයන මෝටර් රථ, ත්‍රිරෝද රථ හිමිකරුවන් හා එවැනි ආයතනවලට ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුවී ඇති අතර ආහාර සැපයුම්කරුවන් බේකරි කර්මාන්තකරුවන් වැනි විවිධ ආකාරයේ ප්‍රවාහන සේවා අංශ එකතු කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 


පෞද්ගලික අංශයේ ප්‍රවාහන සැපයුම්කරුවන් මුහුණපාන ඉන්ධන මිල ගැටලුව, වාහන දඩ මුදල් අය කිරීමේ ක්‍රමවේදය හා රජයේ බදු ප්‍රතිපත්තිය නිසා ඇතිවන අසීරුතා සැලකිල්ලට ගන්නා ලෙස දන්වමින් ජනාධිපතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට ලිපි යොමුකොට ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.