“රජෙකු නැති කල රටක් නැත”


මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

 

ජයවර්ධනපුර කෝට්ටය තිබුණේ 
සතර කෝරළේ-2

 

කෝට්ටේ රාජධානියට අයත් මහනුවර උපරාජධානියේ ජෝතිය සිටාණන්ගේ කැරැල්ලෙන් පසු උඩරට සේනාසම්මත වික්‍ර්‍රමබාහු මහනුවර රජු බවට පත් විය. හතර වැනි වික්‍රමබාහුගෙන් පසුව දෙවනගල හෙවත් ජයවර්ධන පුර කෝට්ටයේ රාජ්‍යත්වයට පත්වූයේ පස් වැනි පරාක්‍රමබාහු හෙවත් නිශ්ශංක අලගක්කෝණාරගේ පුත් කුමාර අලගක්​ෙකා්ණාරයන්ය. ඔහු හතර වැනි වික්‍රමබාහුගේ මහාමාත්‍ය වරයකු විය. ඔහු පස් වැනි බුවනෙකබාහු නමින් දෙවනගල රාජ්‍යත්වයට පත් වූයේ ක්‍රි.ව. 1373 දීය. හය වැනි පැරකුම්බාවන් ක්‍රි.ව. 1415 දී කොළඹ කෝට්ටයේ රාජ්‍යත්වයට පත් වන තුරුම කුමාර අලගක්කෝණාර (පස් වැනි බුවනෙකබාවන්) දෙවනගල හෙවත් ජයවර්ධනපුර කෝට්ටය එනම් පරණ කෝට්ටයේ රාජ්‍යත්වය ඉසිලීය. ඒ අනුව ඔහුගේ රාජ්‍ය කාලය වසර 42 ක් විය.   


කන්ද උඩරට පළමු වන විමලධර්මසූරිය රජතුමා විසින් මෙම දෙවනගල පර්වතය ගිරිවංශික රතනාලංකාර හිමියන් වෙත පවරා දෙන ලදුව එය ආරණ්‍යවාසී විහාරයක් බවට පත් විය. පළමු වන විමලධර්මසූරිය සහ ලන්දේසි තානාධිපතිවරයෙකු වූ ස්පිල්බර්ජන් යන​ දෙදෙනා සාකච්ඡා සඳහා හමුවූයේ මෙම පර්වතය මුදුනේ එවකට පැවති බළකොටුව තුළදීය.   
එම සිද්ධියට අදාළව දෙදෙනාගේ රූප රාමුවක් එම විහාර ගෙයි චිත්‍රයට නගා ඇතැයි තතු දන්නෝ සඳහන් කරති. ඓතිහාසික මෙම පර්වතය සංඝාවාසයක් බවට පත්වීමත් එය ආසන්නව වැවක් රාජ මාළිගයක් කොටු බැම්මක් සහ දෙමහල් උපුල්වන් දේවාලයක් (වර්තමාන අලුත් නුවර දේවාලය පිහිටි පෙදෙස) සහිතව අලුත් නුවරක් පස් වැනි පැරකුම් රජු විසින් ඉදිකිරීමත් නිසා පැරණි කෝට්ටය වූ ජයවර්ධනපුරය ද මිනිස් මතකයෙන් තුරන් විය.   


දෙවන ගල පර්වතය පාමුල විවෘත භූමිය (අට්ටාලපිටිය) ඉන් පසු අට්ටාපිටිය නමින් යුද කඳවුරක් බවට පත් විය. උඩරට රජවරුන් විසින් ඉදිකළ එය පසුව පෘතුගීසීන්ටත් අනතුරුව ඉංග්‍රීසීන්ටත් අයත් යුද බළකොටුවක් බවට පත් විය. උඩරට දෙවැනි රාජ සිංහ රජුගේ කාලයේදී මෙය පෘතුගීසි බළකොටුවක් බවට පත් වී තිබුණි. පෘතුගීසීහූ අවට ගම් බිම් විනාශ කරමින් දේපොළ කොල්ල කමින් ගව පට්ටි සොරා ගනිමින් ස්ත්‍රීන් දූෂණය කරමින් දරදඬු පාලනයක් ගෙන ගියහ.   


කඳවුර තුළ සිංහල කැරැලිකරුවන් ගාල් කර තැබීම සඳහා හිර ගෙයක් ද මරණ දඬුවම් දීම සඳහා එල්ලුම් ගසක් ද පිහිටුවා තිබුණි. මොවු​න් සතර කෝරළයේ ගම්මාන 39 ක් ගිනි තබා විනාශ කරන ලද බව සඳහන් වෙයි. බොහෝ සිංහලයෝ සිය ගම්මාන අතහැර කඳුකර වනයට පලා ගොස් සැඟවී වාසය කළහ.   


උඩරට දෙවැනි රාජසිංහයන්ට විරුද්ධව නිල්ලොඹේ කැරැල්ල ඇති වූයේ මෙම කාලයේදීය. රජුගේ ජීවිතය බේරා ගැනීමට උපකාර කළ පිරිස් වෙත රජතුමා විසින් නම්බුනාම සහ ගම්වරයන් ලබා දෙන ලදි. එම පිරිස අතර සිටි සෙනෙවියෙකුට රජතුමා විසින් සතර ​ෙකා්රළයේ (වර්තමාන කොළඹ නුවර මාර්ගය අසල) කරඬුපොන නම් වූ ග්‍රාමය පවරා දී ගම් පලද්දා නම් වූ තනතුරක් ද පිරිනමන ලද බව ‘සතර කෝරළ විත්ති’ පොතේ සඳහන් වෙයි. මහනුවරින් බැහැරව අවුත් මෙම ගම්වරයේ පදිංචිවීමත් සිය සේවය උඩරට රජුට තවදුරටත් ලබා දීම නිසා මොහුගේ පෙළපත් නාමය නුවර පක්ෂ පේඩිගේ වූ බව එම විත්ති පොතේ සඳහන් කර ඇත.   


මෙම සෙනවියා සිය සිංහල හමුදාව සමග පැමිණ පෘතුගීසීන් සමග සටන් කොට බළකොටුව විනාශ කරන ලදි. ඔහු සිය සේනාවද සමග මධ්‍යම රාත්‍රියෙහි පැමිණ අට්ටාපිටිය කඳවුරට කඩා වැදී පෘතුගීසීන්ට තදබල ප්‍රහාරයක් එල්ලකොට ඔවුන් මරාදැමූහ. හිරකර සිටි සිංහල කැරලිකරුවන් නිදහස් කරගති. මේ අතර පෘතුගීසි භටයන් තිදෙනෙක් බේරී මහඔය දිගේ පලාගියහ.   


එහෙත් ඔවුන්ගෙන් දෙදෙනෙකු සිංහල සෙබළු විසින් අල්ලා මරා දැමිණ. එක් පෘතුගීසි භටයෙකු මහඔය ඉස්මත්තේ වෑවල නම් ස්ථානයට පැන ගොස් දිවි බේරාගති. සිංහල ස්ත්‍රියක් පාවාගත් ඔහුගෙන් පැවැත ආ පරපුර ඉංග්‍රීසි යුගයේදී ගම්බිම් හා මුලාදෑනිකම් ලබාගත්හ. ඒ අනුව එම පරපුරෙන් පැවැත එන්නෝ පසුව ප්‍රසිද්ධ වලව් තුනක් බවට පත්වූහ.   


ඉන් අනතුරුව අට්ටාපිටිය යුද කඳවුර ඉංග්‍රීසීන් යටතේ ප්‍රබල බළකොටුවක් බවට පත්විය. උඩරට අවසන් රජු අල්ලාගැනීමට ආසන්න කාලයේ එහි ප්‍රධානියා වූයේ මේජර් හුක් ය. හෙන්රි මාර්ෂල් නම්වූ ඉංග්‍රීසි වෛද්‍යවරයා යුද හමුදාවේ වෛද්‍යවරයා වශයෙන් සිටිමින් සටන් බිමේ ක්‍රියාකාරිකයෙකු විය. ඔහු සිය Ceylon ග්‍රන්ථයේ සිං/ප සිංහලේ මෙසේ සටහන් කර ඇත. ඒ රජුගේ හමුදාපතිවරයා පිළිබඳවය.   


.......එක්තරා රාත්‍රියක මොල්ලිගොඩ වෙස්වළාගෙන මෙම කඳවුරට පැමිණියේ සිය අතවැසියෙකුද සමගිනි. මේජර් හුක් හමුවූ ඔහු ඉංග්‍රීසීන් හා එක්වීමට කැමැත්ත පළ කළේය.   
මෙහිදී මොල්ලිගොඩ උඩරට රජුට සහාය පළකරන බව පෙන්වමින් ඉංග්‍රීසීන්ට සහාය දැක්වීමටත් සිය දරු පවුල උඩරටින් ගෙන්වා ගත් පසු ප්‍රසිද්ධියේම එක්වීමට එකඟවිය. එසේම උඩරට බලා එන ඉංග්‍රීසි හමුදාවට විරුද්ධව සටන් කිරීමේදී තමා යටතේ සේවය කරන යුද සෙබළු වෙඩි තබන නමුත් ඔවුන්ගේ තුවක්කුවලට ඊයම් (උණ්ඩ) නොදැමීමටත් එකඟ විය.   


මෙසේ වුවද හෙට්ටිමුල්ලේ සිට ගනේතැන්න දක්වා ගමන් කළ භට කණ්ඩායමකට උඩරැටියෝ දෙදෙනෙක් වනයෙන් මගට පිවිසී වෙඩි තබන ලදුව එම තුවක්කුවල උණ්ඩ තිබී ඇත. පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔවුන් මොල්ලිගොඩ යට​ෙත් නොව වෙනත් නිලමේ කෙනෙකු යටතේ සේවය කළ දෙදෙනෙකු බවය. ඉන්පසුව සිදුවූ දැය අතිශය කුරිරුජනක සිදුවීමකි.   


දින කීපයකට පසුව රාත්‍රියක මොල්ලිගොඩ නිලමේ විසින් පණිවිඩකරුවකු එවන ලදී. ඉංග්‍රීසීන්ට වෙඩි තැබූ සිංහල හමුදාවන් රැඳී සිටින ස්ථානය දන්නා බැවින් එම නිවාස වැටලීමට භට කණ්ඩායමක් එවන්නේ නම් ඊට මග පෙන්වීමට ඔහු ඉදිරිපත් වන බවය. සැබැවින්ම පැමිණ සිටියේ පණිවිඩකරුවකු නොව මොල්ලිගොඩ බව තවත් මතයකි. මෙයින් මේජර් හුක් විමතියට පත්විය. කෙසේ වුවද කපිතාන් වරයකු හා තවත් මුලාදෑනියෙකු යටතේ ජාවෝ සහ සිපොයි භට කණ්ඩායමක් පණිවිඩකරු සමග එවේලේම යැවීය. අදාළ නිවස පිහිටියේ අට්ටාපිටියේ සිට සැතපුම් පහක් එපිට ගනේතැන්නේය.   


මධ්‍යම රාත්‍රිය ආසන්නව එහි ළඟා වූ භට පිරිස නිවස ඉදිරියේ මුරට සිටි භටයා අල්ලාගත්හ. සිංහල සෙබළු දොරවල් වසා නිදා සිටියෝය. නිවස වටකළ සෙබළු නිවස සෙවිලි කර තිබූ පිදුරු වලට ගිනි තැබූහ. එළියට පැන බේරීමට තැත් කළ සිංහලයින් එළියේ රැකසිටි සතුරාගේ බයිනෙත්තු පහර වලට ගොදුරු වූහ. ගින්නෙන් හා වෙඩි පහර වලින් මියගිය පිරිස හැත්තෑපහක් පමණ යැයි මේජර් හුක් සඳහන් කර ඇත.   


පසුදින උදය එම ස්ථානයට ගිය පිරිසට දක්නට ලැබී ඇත්තේ බයිනෙත්තු පහර කෑමෙන් තිස් දෙනෙක් මැරී සිටි බවයි. සිරකරුවන් වශයෙන් තිදෙනෙකු අල්ලවාගෙන ඇත. සෙස්සෝ ගින්නෙන් මරණයට පත්ව ඇත. තුවාලකරුවකු කඳවුරට ගෙන ආ බවද සඳහන් වෙයි.   


ඉංග්‍රීසිහු පෙබරවාරි හය වෙනි දා වන විට අට්ටාපිටිය කඳවුර ප්‍රධාන යුද කඳවුර බවට පත්කරගත්හ.   


‘.........ආණ්ඩුකාරතුමා විසින් අවසරය දෙන ලදුව සිංහලේ නිලධරයන් පිරිසක් පිරිවරා කඳවුරට පැමිණි මොල්ලිගොඩ තම දිසාවේ පදවියට අයත් නිල සංකේත හා ලේකම් මිටි ඩොයිල් මහතාට භාර දුන්නේය.   


ආණ්ඩුකාර තැනගේ නියෝජිතයාට යටත් වූ මොල්ලිගොඩ ආපසු යෑමට සමුගැනීමේදී මෙකල ප්‍රධාන කාර්යාලයට නුදුරුව නැවතී සිටි ඇහැලේපොළ මුණගැසීමට අවසර පැතීය. ඔහු ඇහැලේපොළ හමුවූයේ මම විනාශ වූ මිනිසෙක්මි යන වචනවලිනි. මටත් වූයේ එයමය යනු ඇහැලේපොළගේ පිළිතුර විය. මෙහිදී නිලමේවරු දෙදෙනාම කඳුළු සලන්නට වූහයි කියනු ලැබේ.   


සිය දිවි පරදුවට තබා සිංහලයා සටන් කළේ තම මව්බිම වෙනුවෙනි. රජතුමා සිංහලයෙකු නොවුවද රජෙකු නැති වූ කල රටක් නැතිවන බව ඔවුහු දැන සිටියහ. ඔවුන් සටන් කළේ සිංහල සටන් නීතියට එකඟවය. ඒ අනුව දිය කඩිත්තක දිය ​ෙබාන හෝ තණ පිටියක තණ බුදින හෝ මුවෙකු හෝ ගෝනකු වැනි සතෙකු පවා මරාදැමීම නීතියට පටහැණිය, සිංහල සටන් නීතියට අනුව.   


ඉහළට නැංග කෙනෙකු අත් එක්කළ කෙනෙකු දුර්වල බව ප්‍රකාශ කළ කෙනෙකු, නිදා සිටි කෙනෙකු එසේම නිර්වස්ත්‍ර සන්නාහ ආයුධ නැති ඉහළ බලාසිටි සටනට සහභාගි ​ෙනාවූ වෙනත් සතුරෙකු සමග සටන් කරන අයට පහරදීම තහනම්ය.   


එම නීතිය සිංහලයින්ටය. සිංහල වූ අසිංහලයන්ටද උදර පෝෂණය සඳහාම කුලියට සටන් වදින ජාවෝ සිපොයි හෝ එංගලන්ත සෙබළාට එය අදාළ නැත. මොල්ලිගොඩද එවැන්නෙකි. ජාතික ලේඛනාගාරයේ 1848 අගෝස්තු 14 අංක 144 නිකුතුවේ අංක 5 දරන ඇමුණුමේ මොහු පිළිබඳව ඇති සඳහනක් පහත සඳහන් පරිදි වේ.   


‘සතර කෝරළයේ දිසාවනියේ මොල්ලිගොඩ ගනේපැල්ලේ සහ මිදෙණිය යන අය සිංහලේ රජ පවුල වඳව ගොස් නැති බව දැනගනිත්වා. පළමු දෙදෙනා වහල්ලු වන අතර ක්‍රිස්තු භක්තිකයින් යැයි ප්‍රසිද්ධියේ කියන උන්ය. අන්තිමට කිව් එකා පෘතුගීසීන්ගෙන් පැවතෙන ඉංග්‍රීසීන්ට කත් අදින්නෙකි’   


රජා මෙන්ම රජුගේ නිලමේවරයකුද ලන්දේසීන් විසින් සිය නැව් වලින් මලබාර් වෙරළේ සිට මෙරටට ගෙන ආ වහලුන්ය. එක් වහල් හිමියෙකු වෙතින් අලුත් වහල් හිමියෙකු වෙතට මරුවීම වහලෙකු සතු වහල් ගතියකි. මොල්ලිගොඩ සිදු කළේද එයමය.   


ඉංග්‍රීසීන් විසින් රජතුමා අත්අඩංගුවට ගෙන අනතුරුව ඉංග්‍රීසීන්ට ඒ සඳහා සහාය වූ රදලයින්ට නව තනතුරු ලබාදුණි. ඔවුන් සමග ඉංග්‍රීසීන් ඇතිකරගත් ගිවිසුම 1815 ගිවිසුම ලෙස හැඳින්වේ. ඉන්පසුව නව යටත් විජිතය පාලනය කිරීම පිළිබඳව එංගලන්ත පාර්ලිමේන්තුව තුළ විවාදයක් ඇති විය. එහිදී ඉදිරිපත් වූ එක් යෝජනාවක් වූයේ දිවයිනේ ගම්මාන හත අටකට එක් යුද කඳවුරක් බැගින් පිහිටුවීමය. දෙවන යෝජනාව වූයේ නගර තුළ යුද කඳවුරු ස්ථාන ගත කර ගම්මාන කරා පහසුවෙන් ළඟාවීමට හැකිවන පරිදි මකුළු දැලක් මෙන් මාර්ග පද්ධතියක් ඇති කිරීමයි. මෙම දෙවැනි යෝජනාව සම්මත විය.   


ඉහත යෝජනාව නිසා අට්ටාපිටිය කඳවුර අප්‍රධාන තැනකට පත් විය. එහෙත් 1818 ඇතිවූ උඩරට කැරැල්ල නිසා මෙම හමුදාව භාරව සිටි කපිතාන්වරයා පළාතේ ඒජන්තවරයා බවට පත් විය. ඔහුගේ නිල නිවාස තානායම හා උසාවියද කඳවුර තුළම පවත්වාගෙන යාමට සිදුවිය. 

 
කොළඹ සිට නුවර දක්වා වූ යුද මාර්ගය ක්‍රි.ව. 1822 දී පටන්ගෙන ක්‍රි.ව. 1833 පමණ වන විට එය අවසන් කරන ලද නිසා 1834 දී දිසාපති මැදුර උතුවන්කන්දට ගෙන එන ලදී. පසුව එම වසරේදීම නිලනිවස කෑගල්ලට ගෙන එන ලද අතර කෑගල්ල නව නගරයක් බවට පත් විය.   

 


එම්.කේ. ජයසේන   
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.