“මලෛකල්ලන්” හා “ආසාද්” සිංහල සිනමාවේ “සූරසේන” වෙයි


සලරුවක කතාව

 

ෙඩාමී ජයවර්ධන (​ෙරාබට් හාමු) හා හර්බි (සූරසේන) සටනට සැරසී   

 

 

 

සූරසේන ගැන ඔබ අසා තිබේද? සිනමාවට ආදරේ කරන ජ්‍යෙෂ්ඨ පුරවැසි රසිකයන්ට ඒ නම හොඳට හුරුය. මීට දසක තුනකට පමණ පෙර සිටි පරම්පරාවට නම් සූරසේන කී විට මතකයට එන්නේ රූපවාහිනියෙන් විකාශය වූ “පළිඟු මැණිකේ” ටෙලිනාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපෑ සූරසේනගේ චරිතයයි. ඔහු නිතර කියන “පට් පට් ගාල” කියන දෙබසද මතක ඇති. අප අද කතා කරන්නේ මීට වසර 61කට පෙර 1957 දෙසැම්බර් 13 වැනිදා ලංකාවේ ප්‍රදර්ශනය වූ ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ 49 වැනි චිත්‍රපටය වූ “සූරසේන” ගැනය.   


දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් හි පක්‍ෂි රාජ චිත්‍රාගාරයේදී එහි අධිපති එස්.එම්.එස්. නායිදු (1910-1976) විසින් භාෂා 6කින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක සිංහල චිත්‍රපටය වූයේ “සූරසේන”ය. එයින් මුල්ම චිත්‍රපටය වූයේ 1954 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණයකොට නිෂ්පාදනය කළ මලෛකල්ලන් (Malaikkallan) දෙමළ චිත්‍රපටයයි. දෙමළ සාහිත්‍යයේ භාෂා සාහිත්‍ය විශාරදයකු වූ නමක්කල් වී. රාමලිංගම් පිල්ලෛගේ නව කතාවක් ඇසුරෙන් නිපද වූ මේ චිත්‍රපටයේ අර්ථය කන්දේ හොරා ය. මේ නවකතාව රොබින් හුඩ් කතාව ඇසුරෙන් ලියූ එකක් බව පැවසේ. එම්.ජී. රාමචන්ද්‍රන්, භානුමතී, ශ්‍රී රාම් ප්‍රධාන චරිත රඟ පෑ මේ චිත්‍රපටය ජනාධිපති රිදී පදක්කමක් දිනාගත් ප්‍රථම දෙමළ චිත්‍රපටය වීමද විශේෂයකි.   
1954 වසරේ එම කතාවම ඇසුරෙන් AZAAD (අාසද්) (එහි සිංහල අරුත නිදහස බව සිරි කහවලයෝ පවසති) නම් හින්දි චිත්‍රපටය ද නායිදු විසින් අධ්‍යක්ෂණය කර ඇත. එහි ප්‍රධාන චරිත රඟපා ඇත්තේ සුපිරි නළු දිලිප් කුමාර්, මීනා කුමාරි හා ප්‍රාන්ය. 1956 එම කතාව ඇසුරෙන් සිංහල චිත්‍රපටයක් සූරසේන නමින් නායිදු අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළේය. ඊට අමතරව නායිදු විසින්ම එම කතාවම තෙළිඟු කණ්ණඩ හා මලයාලි භාෂාවලින්ද චිත්‍රපට නිපදවීම තවත් විශේෂයකි. භාෂා හයකින් නිපදවන ලද එකම දෙමළ චිත්‍රපටය ලෙස මෙය ද්‍රවිඩ සිනමා ඉතිහාසයේ වාර්තාවක් තබා ඇති බව සිනමා පර් යේෂක ගාමිණී ගුණතිලකයෝ සඳහන් කරති.   


එස්.එම්.එස්. නායිදු නිෂ්පාදනයකොට අධ්‍යක්ෂණය කළ සූරසේන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන සිටියේ රුක්මණී දේවි බව ඇය විසින් ලියන ලද මගේ ජීවිත විත්ති කෘතියේ සඳහන් වෙයි. ඉන්දියාවේ පක්ෂිරාජා සමාගම නිපදවන්නට යන සූරසේන චිත්‍රපටියේ ප්‍රධාන කොටස රඟපෑමට ද තමා ගිවිසුමට අත්සන් කර අවසාන බව එම කෘතියේ 46 වැනි පිටුවේ සඳහන් වෙයි.   


කෙසේ වෙතත් රුක්මණී දේවි මේ චිත්‍රපටයේ රඟපා නැත. එහෙත් ඇගේ සැමියා එඩී ජයමාන්න අංක 441 දරණ පොලිස් නිලධාරියකු ලෙස මේ චිත්‍රපටයේ රඟපෑමට තෝරාගෙන ඇත. සූරසේන චිත්‍රපටයේ රූපාගේ චරිතයට තෝරා ගෙන තිබුණේ කාන්ති ගුණතුංගය. ප්‍රධාන චරිතය වූ සූරසේන ලෙස හර්බි සෙනෙවිරත්න ද දුෂ්ඨ චරිතය වූ රොබට් හාමු ලෙස ඩොමී ජයවර්ධන ද රඟපෑහ. මේ චිත්‍රපටය මුලින් හැඳින්වූයේ කන්දේ හොරා නමින්ද බව සිනමා සඟරාවල පළවී තිබුණා මතකය.   


සූරසේන කතාව විකාශනය වෙන්නේ මෙසේය.   


රූපා (කාන්ති ගුණතුංග), චන්ද්‍රදාස (පීටර් පීරිස්) නම් ඥාතියකු විසින් බාල කාලයේ සිට ඇති දැඩි කළ යුවතියකි. චන්ද්‍රදාසගේ ඥාතියකු තවත් ඥාතියකු වූ රොබට් හාමු (ඩොමී ජයවර්ධන) ඔහුගේ සහචරයකු වූ රොමියෙල් (පියදාස ගුණසේකර) නැමැත්තා ලවා රූපාව බලහත්කාරයෙන් ගෙනියයි. එකල භයානක සො​ෙරක් වූ සූරසේන (හර්බි සෙනෙවිරත්න) රොමියෙල් ඇතුළු මැරවරයන්ගෙන් රූපාව බේරාගෙන තමාගේ කඳුකරයේ පිහිටි නිවසට කැඳවාගෙන යයි.   


සූරසේන භයානක සොර දෙටුවකු වශයෙන් රටේ ප්‍රසිද්ධව සිටියත්, රූපා ඔහු ඇසුරු කිරීමෙන් පසු අවබෝධ වූයේ ඔහු අවංක ඍජු යහපත් පුද්ගලයකු බවය.   
රොබට් හාමුත්, ඔහුගේ සහචරයන් වූ රොමියෙල් හා ගජනායක (වෝල්ටර් ප්‍රනාන්දු) යන තිදෙනා රූපා සෙවීමේ අසාර්ථක උත්සාහයක යෙදෙති. සූරසේන ගේ වීරකම් නිසා රොබට් හාමුගේ හැම උපක්‍රමයක්ම වැළකෙයි. මේ හැම ගැටුමකටම මූලික සූරසේන ද යන්න පොලිසියට ද ප්‍රහේලිකාවකි.   


කඳුකරයේ පදිංචි සයිබු නානා සූරසේනගේ හිතවතෙකි. ඔහු සූරසේනගේ කීම පරිදි රූපාව පරෙස්සමෙන් ඇගේ නිවසටම ඇරලවයි. මේ අතර සූරසේන මංකොල්ලකරුවකු නොව, අවංක එඩිතර, චරිතවත් පුද්ගලයකු බව සයිබුනානා විසින් පොලිස් ඉන්ස්පෙක්ටර්ට (මාක් සමරනායක) හා සාජන් 441 ට (එඩී ජයමාන්න) තොරතුරු ලබා දෙයි.   


රොබට් හාමු විසින් රූපා තමා වෙත ගෙන්වා ගැනීම ඔහුගේ ඊළඟ උත්සාහය වූයේය. ඔහු තම පෙම්වතිය වූ ශ්‍රියා (රෝහිණි ජයකොඩි) ගේ සහාය ඇතිව රූපාව තම නිවසට ගෙන්වා ගෙන බලහත්කාරකම් කිරීමට සූදානම් වෙයි. ඊට විරුද්ධ වෙන ශ්‍රියාගේ ගෙළ මිරිකා මැරීමට තරම් රොබට් හාමු සැහැසි වෙයි. ඒ අවස්ථාවේ එතැනට කඩා වදින සූරසේන රොබට් හාමු සමග සටන් කොට ඔහු පරදවා රූපා බේරා ගනී.   

 


මේ අතර තමා විවාහ කර නොගතහොත් රූපාගේ ඥාතියා වූ චන්ද්‍රදාස ගේ ජීවිතයට හානි කරන බවට රොබට් හාමු රූපාට තර්ජනය කරයි. පොලිසිය සයිබු නානාගේ ආධාර ඇතිව චන්ද්‍රදාස සඟවා තිබූ ස්ථානය සොයා ගනී. එහිදී රොබට් හාමු හා ඔහුගේ සහචරයෝ අතර ඇතිවූ මාරක සටනකදී සූරසේනගේ ආධාරය පොලිසියට ලැබෙයි. පොලීසියට චන්ද්‍රදාසගේ ජීවිතය ගලවා ගත හැකි වෙයි.   


චන්ද්‍රදාස සූරසේනට කළගුණ සැලකීමට මාර්ග සෙවීය. සූරසේනට විරුද්ධව පොලිසිය විසින් ගොනු කර තිබූ සියළු චෝදනාවන්ගෙන් මුදාගෙන ඔහු නිදහස් පුද්ගලයකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීමට චන්ද්‍රදාස කටයුතු යොදයි. පොලීසිය ඔහු නිදහස් මිනිසෙකු ලෙස නිවේදනයක් නිකුත් කළේය.   


මේ අතර සයිබුනානා විසින් චන්ද්‍රදාසට තමා සඟවා සිටි අභිරහසක් හෙළිකරයි. එනම් සූරසේන අනිකෙකු නොව බාල කාලයේ නැතිව සිටි චන්ද්‍රදාසගේම පුතා බව හෙළි කිරීමෙන් සියල්ලෝම පුදුමයට පත්වෙති. සියල්ලෝම කුතුහලයෙන් සූරසේන එනතුරු බලා සිටිති. මෙහිදී ඔවුන්ට දකින්ට ලැබෙන්නේ සූරසේනත්, සයිබුනානාත් වෙස්වළාගත් එකම පුද්ගලයකු බව පසු දිනම හෙළි වෙයි. සියල්ලෝම විශ්මයට පත් වෙති. අවසානයේ සියල්ලෝ සතුටට පත් කරමින් සූරසේන හා රූපා විවාහ වෙති.   


සූරසේන චිත්‍රපටයේ බන්දු ගුණසේකර පුංචප්පු ලෙසද රූබි ද මෙල් ශාන්ති ලෙසද ඇන්තනී සී පෙරේරා මහළු සූරසේන ලෙසද රඟපෑ අතර මෙහි ඇනෙස්ටා වයලා ප්‍රනාන්දු හා ඇල්.සී. රණතුංග ද රඟපා ඇත.   


චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන සූරසේන (හර්බි සෙනෙවිරත්න), රූපා (කාන්ති ගුණතුංග) හා රොබට් හාමු (ඩොමී ජයවර්ධන) ගෙයක් ඇතුළේ රූගත කළ දර්ශනයකදී කාන්ති ඉතා බියගැන්වෙන දර්ශනයකට මුහුණ දුන් අවස්ථාවක් තිබේ. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඇය මට කලකට ඉහත විස්තර කළේ මෙසේය.   


ඒක ඇඟේ ලොමු ඩැහැගැන්වෙන බිහිසුණු අවස්ථාවක්. ඒ මාව බේරාගන්න ආ සූරසේන හා රොබට් හාමුත් අතර සටනක්. රොබට් හාමු අතේ කිණිස්සක්. ඔහු මට හා සූරසේනට අභියෝග කරනවා. මේ චරිත රඟපෑ ඩොමී හා හර්බි මට කිව්වේ කිසිදේකට බය වෙන්න එපා කියලා. ඒක උල් මුවහත තිබුණු කිණිස්සක්. ඩොමී හර්බිට අනින්න එනවා. එ් අතරට මාව මැදිවෙලා. මගේ මුහුණ ගාවින් කිණිස්ස යනවා. හර්බි කොහොම හරි ඒක වළක්වා ගන්න උත්සාහ ගන්නවා. චිත්‍රපටයේ තියෙන උද්වේගකර අවස්ථාවක් ඒ. මට එක් දර්ශනයකදී අසුපිටින් යන්න තියෙනවා. මදුරාසියේ අසුන් මෙහෙයවන උපදේශකයෙක් මට හොඳට ඉගැන්නුවා. ඊට පස්සෙ භය නැතිව කඳු ශිඛර ඇති දුර්ග මාර්ගවල මම අසුන් පදවා ගෙන ගියා. හර්බි මට බෙහෙවින් උදව් කළා. ධෛර්යය දුන්නා. කාන්ති කීවාය.   


සූරසේන ලෙස රඟපෑ හර්බි සෙනෙවිරත්න ද පවසා ඇත්තේ තමා එතෙක් රඟපෑ අසීරු චරිතය එය කියාය. ත්‍රාසය, භීතිය, සන්ත්‍රාසය සපිරි මේ චරිතයට හර්බි ආදරය කළ බවයි.   
වඩාත්ම ත්‍රාසජනක අත්දැකීම මට විස්තර කළේ ඩොමී ජයවර්ධනය. නායිදු අධ්‍යක්ෂවරයා තමා දෙමළ චිත්‍රපටයේ ඒ චරිතය රඟපෑ ශ්‍රී රාම්ගේ රූප රාමුත් හින්දි චිත්‍රපටයේ ඒ චරිතය රඟපෑ ප්‍රාන්ගේ රූප රාමුත් පෙන්නුවා. ඩොමී එවිට අධ්‍යක්ෂ නායිදුට පවසා ඇත්තේ මට ප්‍රාන්ටත්, ශ්‍රී රාම්ටත් වඩා වෙනස් ලෙස රඟපා පෙන්විය හැකි බවය. තමා ඉන්දියාවට පැමිණියේ බොහෝ බලාපොරොත්තු ඇතිව බවද පවසා ඇත.   


මම ඉන්දියාවට යනකොට සූරසේන ඒ ආකාරයටම තෙළිඟු දෙමළ හා හින්දි චිත්‍රපටවලට නැගී තිබුණා. පක්ෂිරාජා චිත්‍රාගාරයේ සූරසේන දර්ශනයක් රූගත කිරීමෙන් පසු මලයාලි හා කර්ණාට නළු නිළියන් ලවා එම දර්ශනය ඒ ලෙසම රූපගත කිරීමට නායිදු අධ්‍යක්ෂවරයා විධිවිධාන සළස්වා තිබුණා. මේ නිසා සිංහල, කණ්ණඩ, මලයාලි ජාතික නළු නිළියන් අතර තිබුණේ ලොකු තරඟයක්. මුලින්ම කැමරා ගත වුණේ සිංහල චිත්‍රපටය. හර්බි, කාන්ති හා මම උත්සාහ කළෙත් කතා කර ගත්තෙත් අපි ලංකාවේ තත්ත්වය ආරක්ෂා කරමු කියලා. එක් දර්ශනයක් තිබුණා හර්බියි මා අතර සටනක්. මේ සටන අවසන් වන දර්ශනයේ තිබුණා හර්බි ගෙන් පහරක් වැදී මට වීදුරුවක් කඩාගෙන ඉවතට වැටෙන්න. මේ වන විට මට ආරංචි වෙලා තිබුණා මේ දර්ශනයට දිලිප් කුමාර් හා ප්‍රාන්ගේ සටන මෙතැනම කැමරා ගතවූ දින සිදුවූ අනතුරක් ගැන.   


ආසාද් හින්දි චිත්‍රපටයේ මේ දර්ශනය දිලිප් කුමාර් හා ප්‍රාන් රඟපාන අවස්ථාවේ ප්‍රාන් ඒ දර්ශනයේ වීදුරුව කඩාගෙන ගිහින් වීදුරුවල කෑලිවලට ශරීරය කැපී දවස් 13 ක් රෝහලේ හිටිය කියලා. මම මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානමින් සිටියේ. කණ්ණඩ හා මලයාලි චිත්‍රපටවල මගේ චරිතය රඟපාන නළුවෝ දෙන්නා ඇස් දෙක ලොකු කරගෙන කුතුහලයෙන් මගේ වීර ක්‍රියාව බලන් ඉන්නවා. මම හෙමින් අධ්‍යක්ෂ නායිදු ළඟට කිට්ටු කළා. මේ දර්ශනය කිරීමට පෙර මම බ්‍රැන්ඩි වීදුරු තුනක් අවශ්‍ය බව කිව්වා. නිෂ්පාදන කළමනාකරු එය ඉටු කළා. මම වීදුරු තුනම බිව්වා. හර්බි මට වේගවත් පහරක් දුන්නා. මම පියාඹගෙන ගිහින් වීදුරු ජනේලය කඩාගෙන පිටතට වැටුණා. එළිමහනේ තිබූ ගලක වැදී මගේ හිස ටිකක් තුවාල වුණා. ඉක්මනින් ප්‍රතිකාර ලැබුණා. අධ්‍යක්ෂ නායිදු මට ප්‍රසංශා කළා. ඩොමි ඔබ ඒ දර්ශනය ඉතා හොඳින් කළා කියලා. හර්බි දුවගෙන ඇවිත් මගේ හිසේ වෙළුම් පටි බඳින කොට උදව් කළා. ඩොමී ජයවර්ධන මේ සිදුවීම මට විස්තර කළේ 1970 වසරේ දීය. ඒ මා සරසවිය පත්‍රයට විශේෂාංගයක් ලියන අතරතුරේදීය. 

 
සූරසේන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය ජාතික එස්.එම්. සුබ්බයියා පිල්ලෛ නායිදු ගෙනි. මෙහි සියලුම ගීත ආනන්ද සමරකෝන් විසින් ලියා ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ සිංහල චිත්‍රපට ගීතාවලිය 1957-1961 කෘතියේ සඳහන් වෙන ආකාරයට ආනන්ද සමරකෝන් විසින් තනිවම ගී ලියූ ප්‍රථම චිත්‍රපටය සූරසේන ය. එහි සියලුම ගීත ජනප්‍රිය වූ බවත් සියලුම ගී හින්දි චිත්‍රපට ගී වලින් උපුටා ගත් ඒවා බවත් ඔහු පවසන අතර එයට උදාහරණයක් දක්වයි. ආනන්ද ශ්‍රීය වෑහෙයි ගීතය කිත්නා හසී හෛ මෝසම්. මේ ගීතයේ ගායනය ධර්මදාස වල්පොල හා ලතාගෙනි.   


ආනන්ද ශ්‍රීය වෑහෙයි   
සෝබා දහම් සිනාසෙයි   
රූපා ඉතා සුරම්යයි   
මේ මෝසම් සුළං කියා යයි   
ලතා ගැයූ ජනප්‍රිය ගීත දෙකකි මේ.   
ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ   
මා හර්දෙ නැගෙනා ආලෝකේ   
සඳ කාන්ති වැදී රාත්‍රිය මේ ශාන්ත වී ගියා   
කුල්මත් ව සැලේ මා හදෙහි චේතනා දයා   


ජමුනා රාණි සහ කේ. රාණි යන ජනප්‍රිය ඉන්දීය ගායිකාවන් දෙදෙනා ගැයූ මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වී ඇත.   


මනරම් රැඟුමන්   
කදිමයි මේ මනු ලොව කෙළි මඩුවකි   
කැරකෙ කැරකෙ දයිවේ   
සුමධුර ගීත කියා - කන්කළු මිහිරේ   
පාමින පාමින - ප්‍රීති මෙම සාගරේ   
මදහස පා උපුල් - මේ රඟ පා නිමල්   


ගීත රචක ආනන්ද සමරකෝන් විසින්ම චිත්‍රපටයේ දෙබස් රචනය කර ඇත. කැමරා ශිල්පියා සයිලන්ස් බෝස්ය.   


සූරසේන චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්වත්තේ සැෆයාර් සිනමාහලේ පවත්වා ඇත. එයට සහභාගි වීමට සූරසේන නිෂ්පාදක අධ්‍යක්ෂක නායිදු හා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන සිනමාස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. ගුණරත්නම් ද කාන්ති ගුණතුංග, එඩී ජයමාන්න හා හර්බි සෙනෙවිරත්න ද සහභාගි වී ඇත. ඉන්දීය ජාතික නායිදු හා ගුණරත්නම් අතර තිබී ඇත්තේ සමීප සම්බන්ධතාවයකි. සිනමාස් සමාගම නිවේදනය කර තිබුණේ හාස්‍යයෙන්, ත්‍රාසයෙන්, සන්ත්‍රාසයෙන්, මනස්කාන්ත රැඟුමෙන්, දක්ෂ රඟපෑම් වලින් යුත් මෙතෙක් රිදී තිරයට නොආ කතා පුවතක් ඇතුළත් සූරසේන ලෙසය. ගාමිණී, කැපිටල්, සැෆායර්, කුයින්ලන් ඇතුළු සිනමාස් සමාගමේ සිනමාහල් 16ක මේ චිත්‍රපටය තිරගත වී ඇත. ලංකා චලන චිත්‍ර සඟරාවේ කර්තෘ සෝමපාල රණවීර (සෝපාරවි) විවේචනයක් (1958 ජනවාරි 01) ලියමින් “සූරසේන නරක නැත” ලියා එඩී ජයමාන්නට විශේෂ ප්‍රසංශාවක් කර තිබුණි. 

 

 

 
ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්.